නිපුණතාව - 3.3 දේශිය නර්තන සම්ප්‍රදායන්ගේ සංස්කෘතික පසුබිම විස්තර කරයි
---------------------------------------------------------------------------------------------------------------------------
දේශිය නර්තන සම්ප්‍රදායයන් පිළිබඳව අධ්‍යයනයේ දී එය ප්‍රධාන වශයෙන් සම්ප්‍රදායයන් තුනක් යටතේ අපට හඳුනා ගත හැකිය. එනම්
- උඩරට නර්තන සම්ප්‍රදායය
- පහතරට නර්තන සම්ප්‍රදායය
- සබරගමු නර්තන සම්ප්‍රදායය, යනුවෙනි.
නර්තන සම්ප්‍රදායයන් ප්‍රචලිත ප්‍රදේශ අනුව එම සම්ප්‍රදායයන් හැඳින්වීම සඳහා නාමයන් ගොඩනැගී ඇත.
දේශීය නර්තන සම්ප්‍රදායයන් ත්‍රිත්වයම ශාන්තිකර්ම පදනම් කර ගනිමින් බිහි වී ඇත.
ශාන්තිකර්මයක් යනු ?.කිසියම් පුද්ගලයෙකුට හෝ පුද්ගල පිරිසකට, ප්‍රදේශයකට සෙත් ශාන්තිය පතා දෙවියන්, යකුන් හෝ ග්‍රහයින් උදෙසා කරන පූජා කර්මයක් ලෙස කෙටියෙන් හැඳින්විය හැකිය.
උඩරට නර්තන සම්ප්‍රදායය.
අප රටේ අභිමානය, අනන්‍යතාවය ලෝකයට ගෙන යන ප්‍රධානතම සංස්කෘතිකාංගයක් ලෙස උඩරට නර්තන සම්ප්‍රදායය හැඳින්විය හැකිය. පෙරහැර, විවිධ ජාතික උත්සව ආදී බොහෝ තැන්වලදී අත්‍යාවශ්‍ය සංස්කෘතිකාංගයක් ලෙස උඩරට නර්තන සම්ප්‍රදාය දැක්විය හැකි වේ.
ප්‍රචලිත ප්‍රදේශ
👉උඩරට ප්‍රදේශයට අයත් මහනුවර, උඩුනුවර, යටිනුවර, දුම්බර, හේවාහැට, හාරිස්පත්තුව
👉කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් - සත් කෝරළයට ප්‍රදේශ
👉කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් - සතර කෝරළයට අයත් ප්‍රදේශ
ප්‍රධාන වාද්‍ය භාණ්ඩය
උඩරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය වන්නේ ගැටබෙරයයි. මෙහි බෙර කඳෙහි මැදින් ගැටයක් සහිත හැඩයක් ඇති බැවින් ගැටබෙරය නමින් හඳුන්වයි. අනෙකුත් බෙර සමඟ සසඳා බලන විට මෙම බෙරයෙහි හැඩය හා සැකැස්ම වඩාත් සුවීශේෂි වේ. ගැටබෙරය මඟුල් බෙරය, උඩරට බෙරය යන නම් වලින්ද හඳුන්වනු ලබයි.
ගැටබෙරය පංචතූර්ය වාද්‍ය භාණ්ඩ වර්ගීකරණයේ දී ආතත ගණයට අයත් වන අතර සම් හා දැව යොදා සකස්කරනු ලබන වාද්‍ය භාණ්ඩයක් හේතුවෙන් මෙය අවනද්ධ වාද්‍ය භාණ්ඩ ගණයට අයත් වේ.
ගැටබෙරයේ සම්මත දිග ප්‍රමාණය තුන්වියත් තුනඟුලක් වන අතර බෙර ඇසක විෂ්කම්භය වියතකි. දකුණු ඇස සඳහා ප්‍රධාන වශයෙන් වඳුරු හම් භාවිතා කරන අතර වම් ඇස සඳහා හරක් හම් භාවිතා කරනු ලබයි. වරපටි,කැපුම්හම, වෙනිවර ආදි කොටස් සඳහා ද හරක් හම් භාවිතා කරනු ලැබේ. බෙර කඳ සඳහා දැව ලෙස ඇහැළ, කොහොඹ, මිල්ල, ගංසූරිය, කොස් වැනි ශක්තිමත් දැව වර්ග යොදා ගනියි.
ගැටබෙරයෙහි කොටස් පහත පරිදි හදුනා ගනිමු.
ප්‍රධාන රංග වස්ත්‍රාභරණ කට්ටලය
උඩරට නර්තනයේ දී සැරසෙන ප්‍රධාන රංග වස්ත්‍රාභරණ කට්ටලය වන්නේ වෙස් ඇඳුම් කට්ටලයයි.
ඉතා තේජවන්ත ලීලාවකින් යුතු මෙම ඇඳුම් කට්ටලය මලය රජුගේ ඇඳුම් කට්ටලය ලෙසද, සූර්ය දෙවියන්ගේ ඇඳුමේ ඉදිරිපස කොටස ලෙසත් විශ්වාසයේ පවතී.
වෙස් ඇදුම් කට්ටලය ශ්‍රි ලාංකේය අනන්‍යතාවයේ සංකේතයකි. නිසි පරිදි උඩරට නර්තන ශිල්පය හැදෑරු පසු චාරිත්‍රානුකූලව සිදු කෙරෙන වෙස් මංගල්‍යයකින් පසුව නර්තන ශිල්පීන්ට වෙස ඇඳුම් කට්ටලය පැලදීමේ අවසරය හිමිවේ. ඊට පෙර භාවිතා කිරීම සඳහා නෛයඩි ඇඳුම් කට්ටලය හා තනිකච්චි ඇඳුම යනුවෙන් ඇඳුම් කට්ටල දෙකක් ඇත.
ප්‍රධාන ශාන්තිකර්මය.
උඩරට නර්තන සම්ප්‍රදාය බිහි වීමට මුල් වූ කොහොඹා යක් කංකාරි ශාන්තිකර්මය මෙම සම්ප්‍රදායයේ ප්‍රධාන ශාන්තිකර්මය වේ.
උඩරට නර්තන සම්ප්‍රදායයේ කෝෂ්ටාගාරය ලෙසද කොහොඹා යක් කංකාරි ශාන්තිකර්මය හඳුන්වයි.
කුවේණිය විසින් කරනු ලැබූ ශාපයක් හේතුවෙන් විජය රජතුමාට වැලඳුනු දිවි දෝෂය සුවපත් කිරීම සඳහා පළමුවෙන්ම මලය දේශයේ සිට පැමිණි කිත්සිරු, සඳලිදු හා මලය යන කුමාරවරු තිදෙනා විසින් අනුරාධපුරය මහමෙවුනා උයනේදී කොහොඹා යක් කංකාරි ශාන්තිකර්මය සිදු කළ බව කියැවේ.
![]() |
| කොහොඹා යක් කංකාරි ශාන්තිකර්මයක අවස්ථාවක් |
![]() |
| කොහොඹා යක් කංකාරි ශාන්තිකර්මයක අවස්ථාවක් |
වෙනත් ශාන්තිකර්ම.
👉කඩවර කංකාරිය, වලියක් මංගල්‍යය හා වැදියක් මංගල්‍යය.
උඩරට නර්තන සම්ප්‍රදායයයේ ශාස්ත්‍රීය නර්තන අංග.
👉හත්පදය, යක් ඇනුම, කුවේණි අස්න, දුනුමාලප්පුව, ආවැන්දුම, කොහොඹා හෑල්ල.
උඩරට නර්තන සම්ප්‍රදායයට අයත් තවත් සුවිශේෂි අංගයක් ලෙස වන්නම් හැදින්විය හැකිවේ. වන්නම් යනු ශාන්තිකර්ම වලින් පරිබාහිරිව නිර්මාණය වී ඇති ශාෂ්ත්‍රිය නර්තන කොටසක් වේ.
සැකසුම - දිනේෂ් ජයසිංහ.
----දැනුම අපගේ ප්‍රබලතම අවියයි---
මිතුරන් සමග මෙය බෙදා ගන්න
ඔබේ අදහස් හා යෝජනා හෝ චෝදනා අප වෙත එවන්න.



.jpeg)

Post a Comment