ගැටබෙරය
උඩරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන අවනද්‍ය වාද්‍ය භාණ්ඩය වන්නේ ගැටබෙරයයි. බෙරයේ බාහිර ස්වරූපය, එය මේ නමින් හැඳින්විමට මූලිකවම හේතු වී තිබේ. එනම් බෙර කඳෙහි මැදින් ගැටයක් ලෙස පෙනෙන පරිදි බෙරය නිර්මාණය කර තිබීම මේ නමින් හැඳින්වීමට හේතු වී ඇත.
බෙරය නිර්මාණය සඳහා යොදා ගනු ලබන අමුද්‍රව්‍ය
- බෙර කඳ නිර්මාණය සඳහා ඇහැළ, කොස්, ගංසූරිය වැනි ශක්තිමත් අරටු සහිත දැව කඳන් යොදා ගනු ලබයි.
- බෙර ඇස් සඳහා වම් ඇසට හරක් හෝ මුව හම් ද දකුණු ඇස නිර්මාණය සඳහා එළු , වඳුරු හෝ තලගොයි හම් යොදා ගනු ලබයි.
- වරපට සහ කැපුම්හම (හැක්ම) සහ වෙනිවර සඳහා හරක් හම් යොදා ගනු ලබයි.
බෙරයේ දිග ප්‍රමාණය
සාම්ප්‍රදායිකව පැවත එනු ලබන මිනුම් ක්‍රම අනුව ගැටබෙරයෙහි දිග තුන්වියත් තුනගුලකි. (වියත මැන ගන්නා අයුරු රූප සටහනෙහි දක්වා ඇත) මෙම වියතෙහි ප්‍රමාණය මැන ගනු ලබන්නේ බෙරය වාදනය කරනු ලබන ශිල්පියාට අනුවය.
බෙර මුහුණතෙහි විෂ්කම්භය විගුස්සකි (විගුස්ස මැන ගනු ලබන්නේ වාදකයාගේ අත මිට මොලවා මහපට ඇඟිල්ල සහ දබරැගිල්ල දිගු කිරීමෙනි)
ගැටබෙරය වාදනය
ගැටබෙරයෙන් වාදනය කරනු ලබන මූලික අක්ෂර හතරකි. මේවා අප සතර බීජාක්ෂර නමින් හඳුන්වමු. මෙම බීජාක්ෂර හතර පදනම්ව බෙර පද නිර්මාණය වී තිබේ. එම සතර බීජාක්ෂර නම්
තත්, ජීත්, තොං, නං වේ
- වම් ඇස ‐ තත්, තොං
- දකුණු ඇස ‐ ජිත්, නං ලෙස වාදනය කළ යුතුය.
නිවරැදි ලෙස බෙරයෙන් හඬ උපදවා ගැනීම සඳහා මෙම අක්ෂර වාදනයේ දී එම ශිල්ප ක්‍රම වලට අනුව වාදනය කළ යුතුය. එනම් බෙර ඇස මත තම අත ස්ථාන ගත කළ යුතු ආකාරය පිළිබඳව මනා අවබෝධයකින් යුතුව එය නිවරැදිව සිදු කිරීමෙන් නිවරැදි ලෙස බෙරයෙන් හඬ උපදවා ගැනීමට හැකි වේ. වාදන ශිල්පියාගේ හැකියාවන් හා දක්ෂතාවයන් මත මෙය තීරණය වේ.
බෙර වාදන අවස්ථා
පහතරට බෙරය
බෙරය සකස් කිරීමට යොදා ගනු ලබන අමුද්‍රව්‍ය
බෙර කඳ නිර්මාණය සඳහා
මේ සඳහා යොදා ගනු ලබන්නේ අරටු සහිත ශක්තිමත් ගස්වල කඳන්ය -පොල්, කිතුල්, ඇහැල, කොහොඹ, කොස්
යොදා ගන්නා හම් වර්ග
හැක්ම, වෙනිවර හා වරපටි (වරපටි අඟල් 1/4 පළලකින් යුතුය) සඳහා හරක් හම් යොදා ගනුලබයි.
බෙර ඇස් සඳහා හරක් බොක්කේ සිවිය යොදා ගනු ලබයි. එහි දී දෙපසට යොදන සිවිවල ඝනකම අනුව සුළු වෙනස්කම් දැකිය හැකිය.
- බෙරයේ වම් ඇස (හයි තට්ටුව) ‐ තරමක් ඝනකමින් යුතුය
- බෙරයේ දැකණු ඇස (සුරල් තට්ටුව) ‐ ඝනකමින් අඩුය
සාම්ප්‍රදායික ක්‍රමය අනුව බෙර කඳෙහි දිග තුන්වියත් තුනඟුලකි (බෙරය වාදනය කරනු ලබන ශිල්පියාට අනුව). බෙර ඇසක විෂ්කම්භය අඟල් 9 ක් හෝ 10 ක් පමණ.
වියත මැන ගන්නා ආකාරය
වාදනය වන බීජාක්ෂර
- වම (හයි තට්ටුව) ‐ තත්, තොං
- දැකුණ (සුරල් තට්ටුව) ‐ දිත්, නං
වාදනය කරනු ලබන අවස්ථා
- පහතරට නර්තන සම්ප්‍රදායේ ශාන්තිකර්ම වලදී ප්‍රධාන වාද්‍ය භාණ්ඩය ලෙස
- මඟුල් බෙර වාදනයේ දී
- වැඳුම් අත්, දැකුම් අත්, තාලම්, සවුදම්, සුරල් වාදනය යන පහතරට නර්තන සම්ප්‍රදායේ සුවිශේෂි වාදන හා නර්තනාංග සඳහා
- ශාන්තිකර්ම අවසානයේ දී සිදු කරනු ලබන පින්බෙර වාදනය සඳහා
- පෙරහැර වලදී
- වේදිකා නර්තන අංග වලදී
දවුල
සබරගමු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය වන්නේ දවුලයි. මෙය දේශිය වාද්‍ය භාණ්ඩ අතර දීර්ඝ ඉතිහාසයකින් යුතු පැරණිතම වාද්‍ය භාණ්ඩයක් ලෙස සැලකේ.
ඈත අතීතයේ සිටම ආගමික අවස්ථාවන් වල දී සහ රාජ්‍ය පාලන කටයුතු වල දී සන්නිවේදන කාර්යයන් සඳහා ද දවුල භාවිතා කර ඇත.
උදා ‐ හේවිසි, අණබෙර, රණබෙර, මළබෙර
ඉහත දැක්වූ අවස්ථාවන් වලදී දවුල ප්‍රධාන වාද්‍ය භාණ්ඩය ලෙස ද ඊට අමතරව තම්මැට්ටම හා හොරණෑව සහාය වාද්‍ය භාණ්ඩ ලෙස ද යොදා ගෙන තිබේ.
දවුල දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන බවට තොරතුරු දඹදෙණි අස්නෙහි ද සඳහන් වී ඇත.
“ ලෝහ දවුල්, ජින දවුල්, මහ දවුල් .....” යනුවෙන් එහි සඳහන්ව ඇත.
ලංකාවේ ආදි වාසී ජන කොටසක් වන වැදි ජනයා අතර ද දවුලට බොහෝ සෙයින් සමාන වාද්‍ය භාණ්ඩයක් භාවිතා කරනු ලබයි. එමෙන් ම දවුලට සමාන වාද්‍ය භාණ්ඩ ආසියාතික රටවල් කිහිපයක ද දක්නට ලැබේ. කෙසේ නමුත් සබරගමු නර්තනය සඳහා යොදා ගනු ලබන දවුල යනු අපේ රටටම ආවේණික වූ වාද්‍ය භාණ්ඩයකි.
දවුල නිර්මාණය කර ගන්නා ආකාරය
දවුල නිර්මාණය කර ගනු ලබන ආකාරය පිළිබඳ නර්තන ඉතිහාසය තුළ තොරතුරු අන්තර්ගත වේ. පහත කවි තුළින් දවුල සකස් කර ගැනීමේ දී අනුගමනය කරනු ලබන සාම්ප්‍රදායික ක්‍රමවේද පිළිබඳ යම් අවබෝධයක් ලබා ගත හැකිය.
ඇසළය පසලොස්වක දා
මිල්ලය පේ කරපු එ දා
නියමින් සුභ මොහොත එ දා
දවුලට කඳ කැපුව එ දා
කඳ පසලොස් අඟු ලේ
වට හතලිස් පස් අඟු ලේ
ඒ දැක රුසි නියම ක ලේ
මේ ලෙස නියමයි දවු ලේ
ඉහත කවි වලින් කියවෙන පරිදි නියමිත සුභ දිනයක, සුභ නැකතින්, පේ වී දවුල සකස් කර ගැනීමට අවශ්‍ය ගස කපා ගනු ලබයි. එමෙන්ම දවුල් කඳේ දිග ප්‍රමාණය අඟල් 15 ක් වන අතර දවුලේ වට ප්‍රමාණය අඟල් 45 කි.
දවුල් තට්ටු (දවුල් ඇස්) සඳහා යොදා ගනු ලබන්නේ එළු හෝ හරක් හම් ය. එහි දී එම හම් පැය 2ක් 3ක් පමණ ජලයේ හොඳින් පොඟවා හොඳින් ඇද දවුල් ඇස් සකස් කර ගනු ලබයි.ඳා
දවුල් වාදනය
දවුල වාදනය අනිකුත් සාම්ප්‍රදායික වාද්‍ය භාණ්ඩ වලට වඩා සුවිශේෂීත්වයක් ගනු ලබයි. එනම් එක් පැත්තක් අතකින් සහ අනික් පැත්ත කඩිප්පුවක් ආධාරයෙන් වාදනය කරනු ලැබීම එම විශේෂත්වයයි. දවුල පංචතූර්ය වාද්‍ය භාණ්ඩ වර්ගීකරණයේ දී අයත් වනුයේ විතතාතත කොටසටය. ඒ අතින් සහ ආධාරකයක් මගින් වාදනය කරනු ලැබීම හේතුවෙනි. දවුල වාදනය සඳහා යොදා ගනු ලබන මෙම ආධාරකය කඩිප්පුව නමින් හැඳින්වේ. ඇට්ටෙරිය ශාකයේ කෝටු වලින් එය සකස් කර ගනු ලබයි.

Post a Comment