දේශිය සංස්කෘතිකාංගයන් තුළ අන්තර්ගත සුවිශේෂි අංගයක් ලෙස ශාන්තිකර්ම පද්ධතිය හැඳින්විය හැකිය. එක් අතකට දේශිය නර්තන සම්ප‍්‍රදායයන් හි තිඹිරිගෙය වන්නේද මෙම ශාන්තිකර්මයන්ය. සුවිශේෂි හෙළ කලාංගයක් ලෙස ශාන්තිකර්ම තුළ සමාජ, සංස්කෘතිමය, කලාත්මක වටිනාකම් රාශියක් දක්නට ලැබේ. ඒවා පිළිබඳ අප නිසි ඇගයීමකින් යුතුද යන්න ප‍්‍රශ්නාර්ථයකි.
අද්‍යතනයේ දී බටහිර විද්‍යාත්මක ක‍්‍රමවේද මුල් කර ගනිමින් දිවි ගෙවීමට හුරුව තිබුණ ද අතීත සමාජය තුළ පාරම්පරිකව පැවති ආ අධ්‍යාපන, විද්‍යාත්මක, සෞඛ්‍ය, සංස්කෘතික ආදී ලෙසට අපටම ආවේණික වූ වටිනාකම්, දැනුම් පද්ධතියක් තිබිණ. නමුත් සමාජය හා සංස්කෘතිය තුළ කාලානුරූපව සිදු වූ වෙනස්කම් සමඟ එම හර පද්ධතින් වෙනුවට වෙනත් ක‍්‍රම ශිල්ප කෙරෙහි සමාජය යොමු විය. විශේෂයෙන්ම බටහිර විද්‍යාත්මක ක‍්‍රමවේද මත යැපීමට අප හුරු පුරුදු විය.
වත්මනේ දී හුදු කලා, සංස්කෘතිකාංගයක වටිනාකම පමණක් ශාන්තිකර්ම සම්බන්ධයෙන් ඉතිරිව තිබුණ ද අතීතයේ දී ශාන්තිකර්මයක් වටා වටිනාකම් රාශියක් ගොනු වී තිබිණි. මිනිසා කෙරෙහි වැළදෙන්නා වූ කායික මානසික පීඩාවන්, විවිධ අතුරු ආන්තරාවන් වලදී ශාන්තිකර්ම තුළින් හෙළයා ලැබූ සහනය සු`ඵපටු නොවේ. එමෙන්ම යහපත් සමාජ සත්වයෙකු ලෙස මිනිසා සමාජගත කරවීමේ දී ද ශාන්තිකර්මයන් තුළින් සිදු වූ සේවය සු`ඵ පටු නොව්. අතීත සමාජයේ පැවති මෙවැනි වටිනාකම් මිථ්‍යාමත හෝ විද්‍යාත්මක නොමැති යැයි බැහැර කළ නොහැක. මන්දයත් මේ සියල්ල නිර්මාණය වීම තුළ විද්‍යාත්මක, කලාත්මක, සමාජ විද්‍යාත්මක වටිනාකම් රාශියක් අන්තර්ගත වී ඇති බව විමර්ශනාක්ෂියෙන් යුතු අධ්‍යයන් තුළින් පැහැදිලි වී ඇති නිසාවෙනි.
පහතරට නර්තන සම්ප‍්‍රදායේ මාතර සහ බෙන්තර යන අනු සම්ප‍්‍රදායද්වයෙහි අන්තර්ගත සුවිශේෂී ශාන්තිකර්මයක් වන රටයකුම හෙවත් රිද්දි යාගය ශාන්තිකර්මය සමාජ සන්නිවේදනය ලක්ෂණයන් බහුලව අන්තර්ගත ශාන්තිකර්මයකි. ඒ පිළිබඳව කෙටි අධ්‍යයනයක් මෙම ලිපියෙන් අපෙක්ෂා කෙරේ.
රටයකුම හෙවත් රිද්දි යාගය ශාන්තිකර්මය පහතරට නර්තන සම්ප‍්‍රදාය තුළ කාන්තාවන් විෂයෙහි සිදු කරනු ලබන එකම ශාන්තිකර්මයයි.(කෝට්ටගොඩ,2001) මෙම ශාන්තිකර්මය තුළින් මානසික චිකිත්සාවක් මෙන්ම සමාජය කෙරෙහි වටිනාකම රාශියක් සම්පේ‍්‍රෂණය කිරීමට හෙළ කලාකරුවන් සමත් වී තිබේ. එනිසා මෙය වඩාත් සුවිශේෂි ශාන්තිකර්මයක් ලෙස දැක්විය හැකිවේ.
සෑම කාන්තාවක් සහ පුරුෂයෙක් සමාජ සම්මතයන්ට අනුව විවාහපත් වීමෙන් පසුව ඊළ`ග අපෙක්ෂාව වන්නේ නිරෝගී දරු සම්පතක් ලබා ගැනීමයි. එහෙත් විවිධ කායික මානසික දුර්වලතා හේතුවෙන් මෙම අපේක්ෂාවන් ඉටු කර ගැනීමට නොහැකි වන අවස්ථාවන් වත්මන් සමාජයේ මෙන්ම අතීත සමාජයන් තුළ ද දක්නට ලැබිණි. වත්මනේ දී මෙවැනි කායික මානසික දුර්වලතාවන් සඳහා බටහිර වෛද්‍ය ප‍්‍රතිකාර, ආයුර්වේද වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රම ඕනෑතරම් දක්නට ලැබේ. තවද විවිධ මිථ්‍යා විශ්වාසයන් පිළිබඳව විශ්වාසයෙන් කටයුතු කරන අවස්ථාවන් පිළිබඳවද ඕනෑ තරම් දක්නට ලැබේ.
වඳ ස්ත්‍රින් දරුවන් ලබා ගැනීම වෙනුවෙනුන්, දරුවන් පිළිසිදෙන නමුත් අතුරු ආන්තරාවලට ගොදුරු වී ගැබ අතරමග විනාශ වන කාන්තාවන්ගේ ගැබෙහි ආරක්ෂාවට හා යහතින් දරු උපත සිදු වීමත් යන කරුණු අරඹයා රිද්දියාගයක් පැවැත්වීම සාමාන්‍ය සිරිතයි.(කෝට්ටේගොඩ,2001)
විල්ලොඩි පුරවර රන්ගිරිකූටය පළාගෙන එහි හටගත් දුමාරයෙන් හා ගිනිපුපුරු වලින් රිද්දි බිසවුන් බිහි වුණ බව කියැවේ. මුදුන්මාල, ධර්මමාල, ගිරිමේඛල, ඕන්කාර, රනකපාල, කොණ්ඩමාල, එර්දි යනු එම බිසවුන් සත් දෙනාගේ නම්ය. මෙම බිසවුන්ට දරුවන් නොමැති බැවින් වඳ බිසවුන් ලෙසද හඳුන්වා ඇත. කළුකුමරුන් විසින් රිද්දි බිසවුන්ට වඳභාවය ඇති කළ බවත් නෛමිත්තකයන්ගේ උපදෙස් පරිදි හේනක් කොටා කපු වපුරා එම කපුවලින් නොයිදුල් සළුවක් වියා දීපංකර බුදුන්ට පූජා කිරීමෙන් දරු ගැබ් ඇති වූ බවත්, බිසුවන්ට ඇතිවූ ප්‍රීතියට ආභරණ ඇල්ලෙ දිය කෙළියට ගිය බිසුවන් රොඩියෙකුගේ ස්පර්ශය හේතුවෙන් ආභරණ ඇල්ලෙන් පැන දිවි නසා ගත් බවත් දරුවන්ට ආලයෙන් මිය ගොස් රිද්දි යක්ෂණියන් ලෙස ඉපිද කාන්තාවන් කෙරෙහි උවදුරු ඇති කරවන බවත් රිද්දියාගයේ උපත් කතාවෙන් කියැවේ.
සන්නිවේදන මෙවලමක් ලෙස ශාන්තිකර්ම
මහාචාර්ය සුනන්ද්‍ර මහේන්ද්‍ර පවසන ආකාරයට සාම්ප‍්‍රදායික සන්නිවේදනයේ ප‍්‍රධාන මෙවලම ශාන්තිකර්ම ලෙස හැඳින්විය හැකිය (ලොකුලියන,2001) නර්තන, ගානයන හා වාදන අංගයන්ගෙන් පරිපූර්ණ සංස්කෘතිකාංගයක්, කායික මානසික චිකිත්සාවක් යන ගුණාංග මෙන්ම රට යකුම ශාන්තිකර්මය තුළ සාර සන්නිවේදන ලක්ෂණ රාශියක් අන්තර්ගත වේ. සන්නිවේදන අධ්‍යයනයේ දී හඳුනාගන්නා සාම්ප‍්‍රදායික සන්නිවේදන අංග ශාන්තිකර්ම, ජනශ‍්‍රෑති ආදීයෙන් යුක්ත වේ. ජන විඥානයට වඩා හොඳින් බලපෑම් කිරීමට හැකි වූ සන්නිවේදනාංගයක් ලෙස ශාන්තිකර්ම වලට අතීත සමාජය තුළ දී පුම‍්‍රඛස්ථානයක් හිමි විය.
යම් කිසි සන්නිවේදන කාර්යයකින් අපේක්ෂා කරන්නාවූ අරමුණු කිහිපයකි.
- තොරතුරු සන්නිිවේදනය
- විනෝදාස්වාදය
- අධ්‍යාපනය
- පෙළඹවීම
- සාමාජානුයෝජනය
මෙහි දී රට යකුම් ශාන්තිකර්මය තුළ සාර සන්නිවේදන අංග අන්තර්ගත වී ඇති ආකාරය විමසා බලමු.
හුුදු නර්තනාංගයක්, දේව ඇදහිල්ලක් බවට පමණක් සීමා නොවී සමාජයේ පැවතුණු මිථ්‍යා මත, විශ්වාස, දේව ඇදහිලි ආදිය පිළිබඳව අවබෝධයක් ලබා දීම, පුද්ගල මානසික සංවර්ධනය, සමාජ දේශපාලන අවබෝධය, පවුල් සැලසුම්කරණය පිළිබඳ දැනුම්වත්භාවය, පුද්ගල දුර්වලතා පිළිබඳ දැනුම්වත්භාවය, සිරිත් විරිත්, ගැටුම් සමතයකට පත් කරගන්නා ආකාරය ආදී වූ මනා සමාජ ජීවිතයකට අවශ්‍යවන්නා වූ දැනුම නිර්මාණාත්මක අයුරින් සන්නිවේදනය කිරීම දේශීය ශාන්තිකර්ම තුළින් සිදු විය. එමෙන්ම මෙම සාර සන්නිවේදන ලක්ෂණ බොහෝමයක් රටයකුම ශාන්තිකර්මය තුළ අන්තර්ගතය.
රට යකුම ශාන්තිකර්මයේ දී දෙබස්, රූපණ, ප‍්‍රහසනය, නාට්‍යමය අවස්ථා, වේෂ නිරූපණය, රංග භාණ්ඩ ආදිය යොදා ගනිමින් පණිවිඩය ග‍්‍රාහකයා හෙවත් ශාන්තිකර්මය නරඹන්නා වෙත ඉතා පහසුවෙන් ග‍්‍රහණය නැතොත් අවබෝධ කර ගත හැකි මෙන්ම එය සිතට කාවදින ලෙස සන්නිවේදනය කිරීමට හෙළ කලාකරුවා සමත්විය.
රටයකුම ශාන්තිකර්මයේ අන්තර්ගත නානුමුරය, දරු නැලවිල්ල, කපුයක්කාරිය යන නාට්‍යමය පෙළපාලි සාර සන්නිවේදන ලක්ෂණ මැනවින් නිරූපණය කරනු ලබන අවස්ථාවන් වේ.
කුඵඳුල් දරුවා ලැබීමට සිටින්නාවූ කාන්තාවක් කායික වශයෙන් මෙන්ම මානසික වශයෙන් ද විවිධ පීඩාවන්ට ලක් වීම සාමාන්‍ය තත්වයකි. වත්මනේ දී නම් මෙවැනි අවස්ථාවන් හි අවශ්‍ය කරන්නා වූ උපදෙස් ලබා දීමට පවුල් සෞඛ්‍ය සේවිකාවන්, එම ක්ෂේත‍්‍රය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්, මානසික උපදේශන වැඩසටහන් ආදී බොහෝ දේවල් බහුලය. නමුත් අතීත සමාජය තුළ දී එවැනි පහසුකම් සන්නිවේදන විධි අල්ප විය. එමෙන්ම එම සමාජය තුළ ලිංගිකත්වය හා සම්බන්ධ මෙවැනි කාරණාවන් වීවෘතව කතා කිරීම ද සිදු නොවීය. එම සියලූ අවශ්‍යතාවයන් සපුරාලීමේ ප‍්‍රධාන සන්නිවේදන ක‍්‍රමවේදය වූයේ රිද්දියාගය ශාන්ති කර්මයයි.
ඇතැම් විටෙක ලිංගික ජීවිතය සම්බන්ධ උපදෙස් දීමට තරම් දෙමව්පියෝ වැඩිහිටියෝ ඉදිරිපත් නොවෙති. රිද්දි යාගය කිසියම් විවාහක යුවලකට සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමටත්, ඒ තුළින් දරුවන් ලබා ගැනීමටත් හැකි වන ආකාරයේ පසුබිමක් සකස් කර දෙයි (කෝට්ටගොඩ,2001)
රිද්දියාගයේ නානුමුරය නැතහොත් නානුමුර මංගල්‍යය පෙළපාලියෙන් ද ලිංගික කාර්යයට සූදානම් වන කාන්තාවක් ඒ සඳහා සූදානම් විය යුතු ආකාරය නිරූපණය කර දක්වයි. තම ස්වාමීයා එකී ලිංගික කාර්යයට ආසක්ත කර ගැනීම සඳහා නා පිරිසිදු වී, සුවඳ විලවුන් ගල්වා, මුහුණේ අංජන ගල්වා අලංකාර වන අයුරු කාන්තා ලාලිත්‍යය මැනවින් පෙන්නුම් කර අයුරින් මෙම නාට්‍යමය පෙළපාලිය ඉදිරිපත් කරයි.
නානුමුරය ලිංගික කාර්යයට සූදානම් වීමක් බැව් අගවන මහාචාර්යය තිස්ස කාරියවසම් මහතා ‘‘හිමියන් වෙත යන කල ආභරණ පැළඳ සුවඳ ඇඟ ගල්වාගෙන පට පිළියෙන් සැරසී ශ්‍රියා කාන්තාව ලෙසින් යා යුත්තීය’’ යනුවෙන් කාව්‍යශේකරයෙන් අදහස් ගෙනහැර දක්වයි (කෝට්ටගොඩ,2001)
ඒ අනුව නානුමර පෙළපාලිය තුළින් ආතුර කාන්තාව වෙත සන්නිවේදනය කර ඇත්තේ තම හිමියා ලිංගික කාර්යය උත්තේජන කර ගනිමින් මනා සම්භෝගයක් පවත්වා ගැනීම අවශ්‍ය වන බවය. දරුවන් නොලැබීම නිසාවෙන් ඇය තුළ යම් චිත්ත පීඩාවක් ඇති වී ඇත්නම් එය සුව කර ගනිමින් නැවත සාර්ථක ලිංගික ජීවිතයක් ගත කිරීමට ඇය තුළ උනන්දුවක් නානුමුරය තුළින් ඇති කොට තිබේ. මෙවැනි කාරණා සමාජයේ බහුල කාරණාවන් නමුත් විවෘත කතා කිරීමට නොපෙළඹෙන කාරණාවන් ය. එනිසාවෙන් අතීත සමාජයේ දී ශාන්තිකර්ම තුළින් සිදුවූ මෙම සන්නිවේදන කාර්යය ඉතාමත්ම වැදගත් ය.
ස්වාභාවයෙන් ම දරුවන්ට සෙනෙහසක් ඇල්මක් නොදක්වන කාන්තාවන් ද සමාජය තුළ සිටිය හැකිය. කාන්තාවක තුළ පවත්නා දරු ස්නේහය ද දරුවෙකු පිලිසිඳ ගැනීමේදී මානසික වශයෙන් බලපෑමක් කරනු ලබයි. වත්මනේ දී ද දරුවන් නොමැති කාන්තාවන් පිටතින් දරුවකු ගෙන උස්මත් කර හදාවඩාගත් පසුව ඇයගේම දරුවන් ලැබූ අවස්ථා ඕනෑතරම් දක්නට ඇත. මෙම සංසිද්ධිය හඳුනා ගත් හෙළ කලාකරුවා රිද්දියාගය තුළදී දරු නැළවිල්ල නාට්‍යමය පෙළපාලිය තුළින් ආතුර කාන්තාවගේ හදවත තුළ දරු සෙනෙහස ඇති කිරීමට සමත්විය. එහි දී දරුවා නහවා පිරිසිදු කරගන්නා ආකාරය, දරුවා පවුඩර් දමා සුවදවත්ව තබන අයුරු ආදිය මෙන්ම මව්කිරි දීමේ වැදගත්කම ද නාට්‍යමය ස්වරූපයෙන් සන්නිවේදනය කර ඇත. මෙවැනි දේ ආතුර කාන්තාවට පමණක් නොව බලා සිටින්නාවූ අනෙකුත් කාන්තාවන්ට ද තම ජීවිතයට වැදගත් වේ.
කෙලගැල්මක් වත් ඇති වෙයි ද දැන්නෑ ........ මේ දරුනැලවිල්ලේ දී දරුවාට කිරිදෙන විට මවගේ භුමිකාව රඟ දක්වන ශිල්පියාගේ ප‍්‍රකාශයකි. මෙය යම් පිරිසක් ඉදරිපිට දී දරුවකුට කිරිදෙන කාන්තාවක් සැලකිලිමත් විය යුතු සරල කාරණාවක් වුවද අපූරු ලෙස සන්නිවේදනය කර ඇත.
තවද ශාන්තිකර්ම භූමියට රැස්වී සිටින ඥාති හිත මිත‍්‍ර පිරිසට දරුවා පෙන්වා තෑගි බෝග ලබා ගැනීමේ අවස්ථාවක්ද දරු නැළවිල්ලේ අන්තර්ගතය. මා පියන් විසින් හදන වඩන දරුවා ඊළගට යොමු වන්නේ සමාජයටය. එහිදී දරුවෙකුට අවශ්‍ය ආදරය, රැකවරණය සමාජය තුළින් ලබා දිය යුතු බවට මෙහිදි සන්නිවේදනය කර ඇත.
දරුවන් ලබා ගැනීමට රි්ද්දි බිසවුන් කපු වගා කර එයින් ලැබෙන කපුවලින් නොයිදුල් සලූවක් වියා ලොව්තුරා බුදුන්ට පූජා කිරීමෙන් පසුව දරු ඵල ලැබූ ආකාරය නිරූපණය කරන කපුයක්කාරීය ව්‍යාංගාර්ථවත් සන්නිවේදන ලක්ෂණ වලින් යුක්තවේ.
දරු සම්පත් නොලැබීමට ස්තී‍්‍රන්ගේ මෙන්ම පුරුෂයින්ගේ කායික මානසික දුබලතා බලපානු ලබයි. එහෙත් බොහෝ විට මෙවැනි අවස්ථාවන් හි දී බොහෝ විට අවධානය යොමු වන්නේ කාන්තාව දෙසටය. නමුත් අතීත ශාන්තිකර්ම ශිල්පියා මෙම තත්වය මැනවින් අවබෝධ කර ගෙන ඒ සඳහා යෙදු පිලියමක් ලෙස කපුයක්කාරීය පෙළපාලිය දැක්විය හැකිය. එනම් මෙහි දී ආතුර කාන්තාවගේ ස්වාමියාද පැදුරේ වාඩිකරවා සලූව වියන්නට එකතු පහදු කර ගනියි. එතුලින් පුරුෂයාගේ මනසට කාන්තාව සමග සමගියෙන් සමාදානයෙන් අදාල කාර්යයන් සඳහා උනන්දු විය යුතු බව ව්‍යාංගයෙන් සන්නිවේදනය කර තිබේ.
කපු වැපිරීම සඳහා හේන් කෙටීමට සූදානම් වන බිසව සිය සැමියෙගෙන් කිසිදු අත් උදව්වක් නොලැබෙන බවත් තනි තනිව මෙම වැඩවල යෙදීම අපහසු බවත් දක්වයි. බිසව තනිව මෙම වැඩවල යෙදෙද්දිත් සැමියා කා බී ලිප් බොක්කට වී නිදා ගන්නා බව පවසයි. ඇතැම් තැනෙක තම්බපු වට්ටක්කා යැයි පවසමින් වඩු මාමාගේ වඩු මඩුවෙහි තිබුණු ග්‍රීස් ගිල දමන බව පැවසීමෙන් හැගීයන්නේ ඔහුට සාමාන්‍ය අවබෝධය පවා නැති බවයි (කෝට්ටගොඩ, 2001)
මේ ආකාරයට නිරෝගී දරු සම්පත් ලබා ගැනීමට කාන්තාවක සහ පිරිමියෙකු කායික හා මානසික වශයෙන් සූදානම් කිරීම මෙන්ම. දරු සම්පතක ඇති වටිනාකම. ලිංගික ජීවිතය සාර්ථකව පවත්වාගෙන යාමට අවශ්‍ය ලිංගික සෞඛය පිළිබඳ දැනුම, දරුවන් කෙරෙහි වැඩිහිටියන් වශයෙන් ලබා දිය යුතු සමාජ අවධානය ආදී කාරණාවන් පිළිබඳව සාර සන්නිවේදනයක යෙදීමට රිද්දියාගය ශාන්තිකර්මයේදී ශාන්තිකර්ම ශිල්පියා සමත් වී ඇති බව පැහැදිලිවේ. හුදු නර්තන ගායන වාදන අවස්ථාවකින් ඔබ්බට ගිය සන්නිවේදන ලක්ෂණ රිද්දියාගය තුළ අන්තර්ගත බව පැහැදිලිය.
සටහන - දිනේෂ් ජයසිංහ
මූලාශ‍්‍ර
සම්භාව්‍ය නර්තක සමීක්ෂා, ජයසේන කෝට්ටගොඩ,2001.
ජන සන්නිවේදනය හා සමාජය, විමල් දිසානායක,1976.
නිර්මාණාත්මක සන්නිවේදන ප‍්‍රවණතා, සුනන්ද්‍ර මහේන්ද්‍ර,2001.
ශාන්තිකර්ම සන්නිවේදනය, ලොකුලියන,2001.
අන්තර්ජාල වීඩියෝ

Post a Comment