හෙළ නර්තන කලාවේ වංශකතා සාධක - 10 ශ්‍රේණිය

හෙළ නර්තන කලාවේ වංශකතා සාධක



    ශ්‍රි ලංකාව යනු වසර දහස් ගණනක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන රටකි. අපේ රටේ අනන්‍යතාවය ලොවට විදහා දක්වන ප්‍රධානතම අංගයක් වන්නේ දේශීය නර්තන හා සංගීත කලාවයි. ශ්‍රී ලංකාවේ නර්තන, ගායන සහ වාදන කලාවන් පිළිබඳ ලිඛිත ඉතිහාසය සොයා යාමේදී මහාවංශය සහ චූලවංශය වැනි වංශකතා ප්‍රධානතම සාක්ෂි මූලාශ්‍ර ලෙස වැදගත් වේ.

    ප්‍රාග් බෞද්ධ යුගයේ සිටම අපේ රටේ ඉතා දියුණු සහ සංවිධානාත්මක කලා සංස්කෘතියක් පැවති බව මෙම ඓතිහාසික තොරතුරු මගින් මනාව සනාථ වේ. විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ (O/L) නර්තනය විෂය හදාරන සිසුන්ට මෙම කරුණු අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය වේ.

 

01. විජයාවතරණයටත් පෙර පැවති දියුණු කලාව

විජය කුමරු ලංකාවට පැමිණෙන විටත් මෙරට සිටි යක්ෂ හා නාග ගෝත්‍රිකයන් කලාව අතින් දියුණු මට්ටමක සිටිබව, විජය සහ කුවේණි හමු වූ දින රාත්‍රියේ සිරිසවත්ථුපුරයේ පැවති මංගල උත්සවයක නැටුම්, තූර්ය වාදන සහ ගීත ගායනා පැවති බවට මහාවංශයේ සඳහන් කර තිබීමෙන් පැහැදිලි වේ.

02. අනුරාධපුර යුගයේ රාජ්‍ය අනුග්‍රහය (මහාවංශයේ සාධක)

අනුරාධපුර යුගයේ රජවරුන් නර්තන කලාවට ලබා දුන් අනුග්‍රහය අතිමහත්:

·         පණ්ඩුකාභය රජු: උත්සව අවස්ථාවලදී රජු ඉදිරියේ "දෙව් මිනිස් නැටුම්" පැවැත්වූ බව සඳහන් වේ.

·         (ක්‍රි. පූ. 1611 - 137) දුටුගැමුණු රජු නළඟනන් පිරිවරා ගෙන කණ්ඩුල ඇතු පිට නැඟී රුවන්වැලි සෑයේ ධාතු නිදන් කිරීමේ උත්සවයට පංචතූර්ය වාදන සහිතව ගිය බව සඳහන් වේ.

·         භාතිකාභය රජු: ශ්‍රී මහා බෝධියට පැවැත්වූ බෝධි ස්නාන පූජාවන්හිදී නර්තන හා තූර්ය වාදන භාවිතා කර ඇත.

·         මහාදාඨික මහානාග රජු: "ගිරිභණ්ඩ පූජාව" සඳහා රනින් කළ බෙර අටක් නිපදවා වාදනය කරවූ බව සඳහන් වීම විශේෂත්වයකි.

·         පොළොන්නරුවේ (ක්‍රි. ව. 1153 - 1186) රජ කළ මහා පරාක්‍රමබාහු රජු නැටුම්, ගැයුම් සඳහා විශාල ලෙස රාජ්‍ය අනුග්‍රහය ලබා දුන් රජ කෙනෙකි. මෙතුමා නැටුම්, ගැයුම්, වැයුම් සඳහා සරස්වතී මණ්ඩපය ඉදි කළ බවත් එහි දක්ෂ නළු නිළියන් යෙදවූ බවත් සඳහන් වේ.

 

03. පොළොන්නරු යුගය (චූලවංශ සාධක)

මහා පරාක්‍රමබාහු රජුගේ කාලය නර්තන කලාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකේ.

·         සරස්වතී මණ්ඩපය: නැටුම් හා ගැයුම් සඳහාම වෙන්වූ විශේෂ මණ්ඩපයක් ඉදි කළ අතර, එය රන් ආලේපිත කුලුනුවලින් හා චීන පටසළුවලින් අලංකාර කර තිබුණි.

·         නාට්‍ය ශාලා: නගර නිර්මාණයේදී රජු විසින් නාට්‍ය ශාලා පහක් (05) ඉදි කරවා ඇත.

·         පරාක්‍රමබාහු රජු විසින් දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කිරීම සඳහා විශේෂ මණ්ඩපයක් සකස් කර, මණ්ඩපය වටා අලංකාර ආභරණ ගත ලා ගත් නළඟනෝ බොහෝ දෙනෙක් තබන ලදහ. එමෙන්ම බටනළා, වීණා සහ නොයෙකුත් බෙර වර්ග වාදකයන් යොදවා සිටි බව ද කියැවේ

වංශකතා තුළින් හෙළිවන නර්තන කලා සාධක - ප්‍රශ්න පත්‍රය

I කොටස: බහුවරණ ප්‍රශ්න (MCQ)

නිවැරදි පිළිතුර තෝරන්න.

1.      විජය සහ කුවේණි හමු වූ රාත්‍රියේ නැටුම්, ගැයුම් පැවති බවට සඳහන් නගරය කුමක්ද?

අ) අනුරාධපුරය                   ආ) සිරිසවත්ථුපුරය            ඇ) මාගම           ඈ) පොළොන්නරුව

2.      පණ්ඩුකාභය රජු කාලවේල සහ චිත්තරාජ යක්ෂයන් ඉදිරියේ පැවැත්වූ නර්තන විශේෂය කුමක්ද?

අ) පහතරට නැටුම්             ආ) සබරගමු නැටුම්   ඇ) දෙව් මිනිස් නැටුම්  ඈ) බලි ශාන්ති කර්ම

3.      ගිරිභණ්ඩ පූජාවේදී රනින් කළ බෙර අටක් වාදනය කළ බව සඳහන් වන්නේ කවර රජු සමයේද?

අ) දුටුගැමුණු රජු     ආ) මහා පරාක්‍රමබාහු රජු           ඇ) මහාදාඨික මහානාග රජු       ඈ) භාතිකාභය රජු

4.      මහා පරාක්‍රමබාහු රජු නර්තන හා සංගීත කටයුතු සඳහා ඉදි කළ මණ්ඩපය හඳුන්වන නම කුමක්ද?

අ) මඟුල් මඩුව          ආ) සරස්වතී මණ්ඩපය     ඇ) නිශ්ශංකලතා මණ්ඩපය   ඈ) වටදාගෙය

II කොටස: කෙටි පිළිතුරු සපයන්න

1.      ප්‍රාග් බෞද්ධ යුගයේ ලංකාවේ සිටි ප්‍රධාන ගෝත්‍රික කොට්ඨාස දෙක නම් කරන්න.

2.      දුටුගැමුණු රජු රුවන්වැලි සෑයේ ධාතු නිදන් කිරීමේ උත්සවයට ගිය ආකාරය කෙටියෙන් විස්තර කරන්න.

3.      නර්තන කලාව සම්බන්ධයෙන් චූලවංශයේ සඳහන් වන කරුණු 2ක් ලියන්න.

4.      "ලංකාවේ නර්තන කලාව බෞද්ධාගම නිසා පෝෂණය විය" යන්නට එක් උදාහරණයක් දෙන්න.

 සැකසුම - දිනේෂ් ජයසිංහ.

----දැනුම අපගේ ප්‍රබලතම අවියයි---
මිතුරන් සමග මෙය බෙදා ගන්න
ඔබේ අදහස් හා යෝජනා හෝ චෝදනා අප වෙත එවන්න.

Post a Comment

Previous Post Next Post