දේශීය නාට්‍ය වර්ග – සරල හා සම්පූර්ණ පැහැදිලි කිරීම - 9 ශ්‍රේණිය නර්තනය


 දේශීය නාට්‍ය වර්ග

නාට්‍ය යනු,

Ø  ලෝකයාගේ පැවැත්ම අනුකරණය කිරීමයි - භරතමුණි

Ø  නාට්‍ය යනු ක්‍රියාවක් අනුකරණය කිරීමයි - භරතමුණි/ඇරිස්ටෝටල්

Ø  නාට්‍ය යනු ජීවිතයේ පිටපතකි සිරිත් විරිත් වල කැඩපතකි - ඇල්ඩයිස් නිකොල්


 

නාට්‍ය යනු කුමක්ද පිළිබදව විවිධ විද්වතුන් විසින් ඉදිරිපත් කළ නිර්වචන බොහෝ වෙති. ඒ අතරින් කිහිපයක් ඉහත දක්වා ඇත. ඉහත නිර්වචන අධ්‍යයනයෙන් වුවද ඉතාමත් සරලව අවබෝධ කර ගත හැකි කාරණය නම් ‘‘නාට්‍ය යනු යමක් කර පෙන්වීම බවයි‘‘

            නාට්‍ය කලාව පිළිබදව අධ්‍යයනයේ දී එය නැවත කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. එනම්,

1. ලෝක ධර්මී ශෛලිය

2. නාට්‍ය ධර්මී ශෛලිය

                නාට්‍යයක ප්‍රකාශන විලාශය නාට්‍ය ශෛලිය යනුවෙන් හැදින්විය හැකිය.

           

1. ලෝක ධර්මී ශෛලිය

චරිතයන්ගේ ස්වාභාවික ගති පැවතුම් සම්පාදිතව ඇත්නම්, එය ලෞකික ක්‍රියා ඇතුලත්ව පවතින්නේ නම්, අංගලීලාවන් නොමැති ස්වාභාවික අභින ක්‍රමයෙන් යුක්ත නම් එය ලෝක ධර්මී වේ. (භරතමුණි)

            ඒ අනුව සැබෑ ලෝකයේ සිදුවන පරිද්දෙන්ම නාට්‍ය ක්‍රියා හා සංවාද යථා ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම ලෝක ධර්මී වේ. මෙහිදී ලෝකයේ පවතින ස්වාභාවය අනුව සතර අභිනය භාවිතා කිරීම සිදු කරමින් පවත්නා ලෝකයට වඩා සමීප අයුරින් කරනු ලබන ඉදිරිපත් කිරීමක් දැකිය හැකිය.

2. නාට්‍ය ධර්මී නාට්‍ය ශෛලිය

            යම්කිසි නාට්‍යයක කාර්ය භාව හා සංවාද තාත්වික ගුණය ඉක්මවයි නම්, අංග ලීලාවන් සහිත අභිනයන් ද නාට්‍යමය ලක්ෂණ වලින් යුක්ත වේ නම් එය නාට්‍ය ධර්මී ලෙස හදුන්වයි. මෙහි දී සතර අභිනය සාමාන්‍ය ජීවිතයට ලං නොවන අයුරින් හසුරුවයි (භරතමුණි)

            තාත්වික බවින් දුරස් වූ, නැටුම්, ගැයුම් හා වැයුම් බෙහෙවින් උපයෝගී කර ගන්නා වූ නිශ්චිත සංකේත හා රංග සම්මුති භාවිතා කරන්නා වූ ශෛලිය නාට්‍ය ධර්මී ශෛලිය ලෙස හැදින්විය හැකිය.

 ලෝකයේ නිර්මාණය වී ඇති සියළුම නාට්‍යයන් මෙකී නාට්‍ය ශෛලීන් දෙකට අනිවාර්යෙන්ම අයත් වේ.

            නාට්‍ය කලාව පිළිබදව අධ්‍යයනයේ දී ශ්‍රි ලංකාවේ නාට්‍ය ප්‍රධාන කොටස් හතරකට බෙදා දැක්විය හැකිය.

ලංකාවේ නාට්‍ය වර්ග

                                                                                            I.      තාත්වික නාට්‍ය

                                                                                          II.      ශෛලිගත නාට්‍ය

                                                                                        III.      ගීත නාට්‍ය

                                                                                        IV.      මුද්‍රා නාට්‍ය

                                                                                          

  I.      තාත්වික නාට්‍ය

එදිනෙදා ජීවිතයේ අප අත්දකින්නා වූ සිදුවීමක් ඒ අයුරින්ම වේදිකාවක් තුළ ඉදිරිපත් වීමක් ලෙස ස්වාභාවික හෙවත් තාත්වික නාට්‍ය යනුවෙන් හැදින්විය හැකිය. තාත්වික නාට්‍ය තුළදී ඉදිරිපත් කිරීම සිදු වන්නේ යථානුරූපී ස්වාභාවයෙනි, එබැවින් එය නරඹන්නාට තමන්ගේ අත්දැකීමක් ලෙස විදගැනීමට හැකියාව ලැබේ.

තාත්වික නාට්‍ය වල ඇති ලක්ෂණ කිහිපයක් පහත පරිදි දැක්විය හැකිය.

Ø  සාමාන්‍ය ජීවිතයේ දැක්වෙන පරිදිම නිරූපණය වන සේ සතර අභිනය යොදා ගැනීම

Ø  දෙබස්,අංග රචනය, හැසිරීම්, කතා බහ, ඇදුම් පැළදුම් ආදි සියල්ල සැබෑ ලෝකයට සමාන වන පරිදි නිරූපණය

Ø  නරඹන්නාගේම අත්දැකීමක් ලෙස විදගැනීමට සැලසීම

 

උදා - කැළණි පාලම, මෝදර මෝල, අහසින් වැටුණු මිනිස්සු

 

II.      ශෛලිගත නාට්‍ය

            අවස්ථා සහ සිද්ධීන් ස්වාභාවිත තත්වයෙන් මිදී අතිශයෝක්තියෙන් වර්ණනා කරන නාට්‍ය ශෛලිගත නාට්‍ය ලෙස හැදින්විය හැකිවේ. මෙහි දී සතර අභිනය යොදා ගනු ලබන්නේ ද ස්වාභාවික තත්වය ඉක්මවන ආකාරයෙනි.

ශෛලිගත නාට්‍යයන් හි ලක්ෂණ ලෙස

Ø  ජන කතා හා පැරණි කතාන්දර යොදා ගැනීම.

Ø  තාලය හා රිද්මය මත පදනම්ව දෙබස් උච්චාරණය.

Ø  චලන වලදී (ගමන්) නර්තනය යොදා ගැනීම.

Ø  පොතේ ගුරු මගින් චරිත හදුන්වා දී වේදිකාවට චරිත ප්‍රවිශ්ට කරවීම.

Ø  අභින මගින් චරිත හා පසුතල නිර්මාණය.

Ø  වෙස් මෝස්තර හා ගමන්තාල යොදා ගැනීම.

Ø  ව්‍යාවහාර භාෂා ශෛලිය ඉක්මවා සම්භාව්‍ය ලක්ෂණ දක්නට ලැබෙන භාෂාවක් භාවිතා කිරීම.

            වැඩිදුරටත් අධ්‍යයනයේ දී ශෛලිගත නාට්‍ය නැවත කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය.

1. පූර්ණ ශෛලිගත - භාෂාව සම්පූර්ණයෙන්ම කවි වලින් යුතු

    (මනමේ, සිංහබාහු - මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර)

2. අර්ධ ශෛලිගත - දෙබස් සහිතව කවි ගීත ඇතුලත්

    (කුවේණි,හුණුවටයේ කතාව,මූදු පුත්තු - හෙන්රි ජයසේන,

     නරිබෑණා, මධුර ජවනිකා,කදා වළලු - දයානන්ද ගුණවර්ධන)

  I11.      ගීත නාට්‍ය

            නාට්‍යයට අදාල සියළුම දෙබස් ගීතයෙන් ගායනා කරමින් සිදු කරන  නාට්‍ය ගීත නාට්‍ය ලෙස සරලව හැදින්විය හැකි වේ.

මෙහි ලක්ෂණ ලෙස,

Ø  වාචික අභිනය ප්‍රබල වේ.

Ø  සියළුම දෙබස් ගීතයෙන් ඉදිරිපත් කෙරේ.

Ø  නළු නිලියන් විසින්ම ගායනා කළ යුතුය. (ඔවුන් රංගන හා ගායන යන හැකියාවන්ගෙන් යුක්ත අය විය යුතුය)

Ø  ගීතය සමග රිද්මයානුකූල චලන යොදා ගැනීම විශේෂ වේ.

උදා -  පේමතෝ ජායති සෝකෝ - මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර

                        දෙපානෝ - ඩබ්.බී මකුලොළුව

                        කැලෑ මල් - ප්‍රේමසිරි කේමදාස

IV.      මුද්‍රා නාට්‍ය

            වාචික අභිනයෙන් තොර චලනය මාධ්‍යකොට ගනිමින් කිසියම් තේමාවක් පදනම් කොටගෙන නිර්මාණය කරන ලද මුද්‍රා මගින් අදහස් ප්‍රකාශ කරන නාට්‍ය මුද්‍රා නාට්‍ය ලෙස හැදින්විය හැකිවේ. දේශීය නාට්‍ය අතර මුද්‍රා නාට්‍ය සුවිශේෂි කලා මාධ්‍යයක් හැදින්විය හැකි වේ.

මුද්‍රා නාට්‍යයන් හි දැකිය හැකි සුවිශේෂ ලක්ෂණ කිහිපයක් ලෙස

Ø  සංගීතයට ප්‍රබල ස්ථානයක් හිමි වීම.

Ø  නර්තනය මාධ්‍ය ලෙස යොදා ගනිමින් කතා පුවත ඉදිරිපත් කිරීම.

Ø  ඉන්දියානු නර්තන කලාවේ අභාෂය මත මෙරට තුළ ආරම්භ වීම.

            පෙරදිග අපරදිග දෙදිගම ප්‍රචලිත වූ කලාවක් වන මුද්‍රා නාට්‍ය බටහිර දී හදුන්වනු ලබන්නේ බැලේ නමිනි. ලංකාවේ දී මෙම කලාව ඉගි නළු ලෙස ද හදුන්වයි. 1936 දී ශාන්තිදේව් ඝෝෂ් විසින් නිර්මාණය කළ සිතාභරණ මෙරට නිර්මාණය වූ ප්‍රථම මුද්‍රා නාට්‍යය වේ.

මෙරට නිර්මාණය කළ තවත් සුවිශේෂි මුද්‍රා නාට්‍ය නිර්මාණ කිහිපයක් පහත දැක්විය හැකි වේ.

Ø  චිත්‍රසේන මහතා - කරදිය,නල දමයන්ති,චණ්ඩාලිකා,ශිව රංග

Ø  වජිරා චිත්‍රසේන මහත්මිය - හිමකුමාරි,රන් කිකිළි

Ø  ප්‍රේමකුමාර එපිටවල මහතා - සැළලිහිණි,පරෙවිය,ගමන

Ø  එස්.පණිභාරත මහතා - සත් පත්තිනි, ග්‍රහ අපලය

Ø  ඉඹුල්ගොඩ මහතා - උදාව, රන්දද

“දේශීය නාට්‍ය වර්ග – පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍රය”

බහුවරණ ප්‍රශ්න (MCQ)

  1. භරතමුණි අනුව නාට්‍ය යනු කුමක්ද?
    a) කතා කියන කලාවක්
    b) ලෝකයාගේ පැවැත්ම අනුකරණය කිරීම
    c) ගීත ගායනා කිරීම
    d) නර්තනය කිරීම

පිළිතුර: b


  1. නාට්‍ය ශෛලීන් ප්‍රධාන වශයෙන් කොපමණක් වේද?
    a) එකක්
    b) දෙකක්
    c) තුනක්
    d) හතරක්

පිළිතුර: b


  1. පහත කුමක් ලෝක ධර්මී ශෛලියට අයත් ලක්ෂණයක්ද?
    a) අතිශයෝක්තියෙන් ඉදිරිපත් කිරීම
    b) නැටුම් හා ගීත වැඩි වශයෙන් භාවිතා කිරීම
    c) සැබෑ ජීවිතයට සමාන ලෙස ඉදිරිපත් කිරීම
    d) මුද්‍රා මගින් පමණක් අදහස් දැක්වීම

පිළිතුර: c


  1. තාත්වික නාට්‍යයක ප්‍රධාන ලක්ෂණය කුමක්ද?
    a) කතාන්දර පුරාණ වීම
    b) සම්පූර්ණයෙන් ගීතයෙන් ඉදිරිපත් කිරීම
    c) එදිනෙදා ජීවිතයේ සිදුවීම් යථා ලෙස ඉදිරිපත් කිරීම
    d) වාචික අභිනය නොමැති වීම

පිළිතුර: c


  1. “මනමේ” හා “සිංහබාහු” අයත් වන්නේ කුමන වර්ගයටද?
    a) තාත්වික නාට්‍ය
    b) පූර්ණ ශෛලිගත නාට්‍ය
    c) ගීත නාට්‍ය
    d) මුද්‍රා නාට්‍ය

පිළිතුර: b


  1. සියළුම දෙබස් ගීතයෙන් ඉදිරිපත් කරන නාට්‍ය වර්ගය කුමක්ද?
    a) ශෛලිගත නාට්‍ය
    b) තාත්වික නාට්‍ය
    c) ගීත නාට්‍ය
    d) මුද්‍රා නාට්‍ය

පිළිතුර: c


  1. වාචික අභිනයෙන් තොරව මුද්‍රා හා චලන මගින් අදහස් ප්‍රකාශ කරන නාට්‍ය වර්ගය කුමක්ද?
    a) ගීත නාට්‍ය
    b) තාත්වික නාට්‍ය
    c) මුද්‍රා නාට්‍ය
    d) ශෛලිගත නාට්‍ය

පිළිතුර: c


  1. ශ්‍රී ලංකාවේ ප්‍රථම මුද්‍රා නාට්‍යය ලෙස සලකන්නේ කුමක්ද?
    a) කරදිය
    b) සිතාභරණ
    c) මනමේ
    d) කැලෑ මල්

පිළිතුර: b


විස්තරාත්මක ප්‍රශ්න

  1. නාට්‍ය යනු කුමක්ද? විද්වතුන් විසින් දක්වා ඇති නිර්වචන සදහන් කරන්න.

  2. ලෝක ධර්මී හා නාට්‍ය ධර්මී ශෛලීන් අතර වෙනස්කම් විස්තර කරන්න.

  3. තාත්වික නාට්‍යවල ලක්ෂණ හා උදාහරණ සඳහන් කරන්න.

  4. ශෛලිගත නාට්‍යවල ලක්ෂණ පැහැදිලි කර පූර්ණ හා අර්ධ ශෛලිගත නාට්‍ය අතර වෙනස දක්වන්න.

  5. ගීත නාට්‍ය යනු කුමක්ද? එහි විශේෂ ලක්ෂණ සඳහන් කරන්න.

  6. මුද්‍රා නාට්‍ය යනු කුමක්ද? එහි සුවිශේෂ ලක්ෂණ හා උදාහරණ සඳහන් කරන්න.


සැකසුම - දිනේෂ් ජයසිංහ

----දැනුම අපගේ ප්‍රබලතම අවියයි---
මිතුරන් සමග මෙය බෙදා ගන්න

ඔබේ අදහස් හා යෝජනා හෝ චෝදනා අප වෙත එවන්න.

9 ශ්‍රේණිය වෙනත් පාඩම් සදහා

Post a Comment

Previous Post Next Post