කථක් නර්තන සම්ප්‍රදායය.

6.2 වෙනත් සංස්කෘතිවලට අයත් නර්තන අංගවල අනන්‍යතා ලක්ෂණ ඉදිරිපත් කරයි.

6.2 කථක් නර්තනයේ තොරතුරු රැස්කරමු.

කථක් නර්තන සම්ප්‍රදායය.



    උත්තර භාරතය නිජබිම කරගනිමින් ප්‍රභවය වී ඇති කථක් නර්තන සම්ප්‍රදායය දීර්ඝ කාලයක සිට පාරම්පරිකව උතුරු ඉන්දියාවේ ජනතාව අතර පැවත එන නර්තන සම්ප්‍රදායයකි. 

    මෙම නර්තන සම්ප්‍රදායය “කථා වාචක” හෙවත් “කථා කහේ” යන නමින් හැඳින්වූ පොදු ජනයා අතර පැවති කථා කීමේ කලාව ඇසුරින් විකාශය වී ඇත. 

    නර්තනය මාධ්‍ය කරගෙන මුද්‍රා භාවිතා කරමින් තාල, රිද්ම අනුව අංග, ප්‍රත්‍යාංග, උපාංග උපයෝගි කරගනිමින් භාව ප්‍රකාශනය සහිතව හෝ රහිතව කථාවක් රඟ දැක්වීම කථක් නර්තන සම්ප්‍රදායේ ලක්ෂණය වේ. නෘත, නෘත්‍ය හා නාට්‍ය යන අංග තුනෙන්ම පරිපූර්ණ වූ නර්තන සම්ප්‍රදායයක් ලෙස කථක් නර්තන සම්ප්‍රදාය හැඳින්විය හැකිය.

    රාමායනය මහා භාරතය වැනි වීර කාව්‍යයන් සමාන්‍ය ජනතාවට පැහැදිලි ලෙස කියා දීම ජීවනෝපාය කරගත් පිරිස කථක නමින් හැඳින්විය. මෙලෙම කතන්දර කීමේ කලාවක් ලෙස ආරම්භ වී පසුකාලිනව එය නර්තන කලාවක් බවට වර්ධනය විය. කථක යන කණ්ඩායම විසින් ආරම්භ කළ මෙම කලාව පසුව කථක් නර්තන කලාව ලෙස හැඳින්විය.

    කථා කීමක් ලෙස ආරම්භ වී යම් කොටස් නාට්‍යානුසාරයෙන්, නර්තනයෙන් සහ කාව්‍යවලින් සැදුම්ලත්ව පරිපූර්ණ නර්තන සම්ප්‍රදායයක් ලෙස පසුකාලින කථක් නර්තන සම්ප්‍රදායය නිර්මාණය විය. ක්‍රි:ව 13 වන ශතවර්ෂයේ දී මෙම නර්තන ගායන ඇතුළත් රඟ දැක්වීමේ නාට්‍ය ශෛලිය රාජ සභා රංග ශෛලියක් ලෙස පැවතිණි. පසුව 15,16 ශතවර්ෂවලදී මෙම කථා කීමේ රංග කලාව උත්තර භාරතයේ සෑම ප්‍රදේශයක් තුළම ප්‍රචලිත විය. 

    ආගමික මුහුණුවරකින් යුතු දේව කථා, මිථ්‍යා කතා රඟ දැක්වීම මෙම කලාවෙන් සිදු වූ නිසා දේවාල හා දේවාලයන්හි පූජකවරුන්ගේ අනුග්‍රහය සහිතව මෙම නර්තන කලාව වර්ධනය වී තිබේ. ඉන්දියානු දේවකථාවන් හි එන රාධා ක්‍රිෂ්ණා වැනි දේව චරිත වටා ගොඩනැගුණු නර්තන අංග ඇතුළත් වීම කථක් නර්තනයේ ඇති ආගමික පසුබිම නිරූපණය කරනු ලබන අවස්ථාවන් වේ.

    නෘත, නෘත්‍ය හා නාට්‍ය යන අංග තුනෙන්ම පරිපූර්ණ වූ නර්තන සම්ප්‍රදායයක් වන කථක් නර්තයේ මුල් කාලීන සමයේ දී හින්දු ආගමික, සංස්කෘතික ලක්ෂණ වලට මුල් තැනත් දෙමින් වර්ධනය විය. නමුත් මෝගල් අධිරාජ්‍ය සමයෙන් පසුව කථක් නර්තන සම්ප්‍රදායය මුස්ලිම් ආගමික හා සංස්කෘතික අභාෂය ලබමින් විවිධ විපර්යාසයන්ට මුහුණ දෙමින් විකාශය විය.

ප්‍රචලිත ප්‍රදේශ

    මහා රාෂ්ට්‍රය, ගුජරාට්, රාජස්ථාන්, දිල්ලි හා ලක්නව් යන ප්‍රදේශ මුල් කරගනිමින් කථක් නර්තන සම්ප්‍රදායය ප්‍රචලිතව පවතී.



කථක් නර්තන ඝරානා (ගුරුකුල)

    කථක් නර්තන සම්ප්‍රදායෙහි ප්‍රාදේශීය විශේෂතා දක්වන ගුරුකුල කිහිපයක් පවතී. මේවා ඝරනො යන නාමයෙන් හඳුන්වයි. ප්‍රධාන වශයෙන් හඳුනාගත් ඝරානාවන් හතරකි.

01. ලක්නව් ඝරානා - නවාබ් වජීඩ් අලීෂාගේ මූලිකත්වයෙන් 19 වැනි ශතවර්ෂයේ දී ගොඩනැගුණු ඝරානාවකි.

02. ජායිපූර් ඝරානා - ජායිපූර් ප්‍රදේශයේ ගොඩනැගුණු ඝරානාවකි.

03. බෙනාරිස් ඝරානා - බෙනාරිස් ප්‍රදේශයේ ගොඩනැගුණු ඝරානාවකි.

04. රායිගර් ඝරානා - රායිගර් ප්‍රදේශයේ ගොඩනැගුණු ඝරානාවකි.

සංගීත සම්ප්‍රදායය.

    උත්තර භාරතීය  හින්දුස්ථානි සංගීත සම්ප්‍රදායය කථක් නර්තනයේ සංගීත සම්ප්‍රදායය වන අතර රාග පදනම් කරගත් සංගීතය භාවිතා කරන අතර වාදනය සඳහා තබ්ලාව, පක්වාජ්, සර්පිනාව, සිතාරය, තාම්පුරාව, සාරංගිය හා බටනලාව භාවිතයට ගැනේ.කථක් නර්තන ප්‍රසංගයක ආරම්භයේ සිට අවසානය දක්වාම සංගීතය සමඟ දැඩිව බැඳී පවතින බැවින් එය අත්‍යාවශ්‍ය අංගයකි. 


තබ්ලාව

පක්වාජ්


හාර්මෝනියම්


සිතාරය



තාම්පුරාව


බටනලාව


කථක් නර්තනයේ දී භාවිතා කරනු ලබන ඇඳුම් පැලඳුම් පිළිබඳව සලකා බැලීමේ දී ඒවාද නර්තන සම්ප්‍රදාය තුළ කලින් කලට ඇති වූ වෙනස්කම්වලට අනුරූපව විවිධ වෙනස්කම් වලට ලක්වෙමින් විකාශය වී ඇත. එනම් හින්දු හා මුස්ලිම් යන සංස්කෘතින් දෙකටම අනුව නිර්මාණය වූ ඇඳුම් පැළඳුම් මෙම සම්ප්‍රදායය තුළ දැකිය හැකිවේ.


 





කථක් අධ්‍යාපන ආයතන

  • දිල්ලි කථක් කේන්ද්‍රය ආරම්භ වූයේ 1964 දී ය. හින්දුස්ථානි සංගීත ආයතනයක් ලෙස ආරම්භ වූ මෙය වර්තමානයේ කථක් නර්තනය සඳහා විශේෂිත වූ ආයතනයකි. 
  • 1926 දී සංගීත ආයතනයක් ලෙස ආරම්භ කළ භාත්ඛණ්ඩේ විශ්වවිද්‍යාලය ද කථක් නර්තය හැදෑරිය හැකි ආයතනයකි. භරතහා මනිපුරි යන නර්තන සම්ප්‍රදායයන් ද මෙහි දී හැදෑරිය හැකිවේ.

කථක් නර්තන අංග

භුමි වන්දනා

කථක් නර්තන අවස්ථාවක් ඉදිරිපත් කිරීමට ප්‍රථම භුමි දේවියට නමස්කාර කොට අවසර ගැනීම මෙහි දී සිදු කරයි.

ආමද්

නමස්කාර සිදු කිරීමෙන් පසුව ඉදිරිපත් කරනු ලබන ප්‍රථම නර්තන අංගය වන්නේ ආමද්ය. නර්තන මණ්ඩපයට නැතහොත් නර්තනයට පිවිසීම මෙහි අරමුණ වේ. විලම්භ ගයට වාදනය කරන සංගීතයන්ට අනුව කෙරෙන නම්‍යශීලි චලනයන්ගෙන් යුතු මෙම අංගය මෝගල් අධිරාජ්‍යයේ බලපෑමෙන් පසුව කථක් නර්තනයට එක් වී ඇත.


සලාම්

සලාම් හෙවත් සලාමි යන්නෙහි අදහස වන්නේ ආචාර කිරීමයි. ආමද් වලින් රංග පීඨයට පැමිණි නර්තකයා පැමිණ සිටින ප්‍රභූන්ට නමස්කාර කොට නර්තනය ආරම්භ කිරීම සිරිතයි. මෙය මුස්ලිම්වරුන්ගේ සම්ප්‍රදායය විය. මෙම අංගයද විලම්භ ලයට අනුව කරනු ලබයි.

ඨාට්

විලම්භ ලය මත පිහිටා ශරීරයේ අංග, ප්‍රතාංග, උපාංග නම්‍යශීලි ලෙස චලනයට හසු කරමින් කරනු ලබන නර්තන අංගයකි. ඇස්, ඇහිබැම, බෙල්ල, උරහිස්, මැණික්කටුව, පපුව, පාද ආදී කොටස් වෙන් වෙන්ව සංගීත රටාවන්ට අනුව චරලනය කරමින් කරනු ලබන චලන රටා මෙහි දී සුවිශේෂිය.

බෝල්

කථක් නර්තනයේ දී යොදා ගන්නා තබ්ලා හා පඛ්බාජ් පද සියල්ලම හඳුන්වන්නේ බෝල් නමිනි. සංකීර්ණ තාල පද්ධතියක්ට අනුව බෝල් නිර්මාණය වී තිබේ. නිවරැදි තාල අවබෝධයකින් යුතු වීම කථත් නර්තනයේ දී අත්‍යාවශ්‍ය අංගයක් වේ. විවිධ ලය ක්‍රමඅනුව වාදනය මෙන්ම සම් ස්ථානය මත අවසන් කිරීම බෝල් හා බැඳි සුවිශේෂි ලක්ෂණය.

පරන්
පක්වාජ් නැතහොත් පඛාවාජ් වාද්‍යා භාණ්ඩයෙන් වාදනය වන සිය`ඵ පද කොටස් පරන් නමින් හැඳින්වේ. මෙම පද පඛාවාජ් වාද්‍ය භාණ්ඩයට අයත් වුවත් කථක් නර්තනයේ දී එම පද පඛාවාජයෙන් හෝ තබ්ලාවෙන් වයන විට දී හඳුන්වනු ලබන්නේ පරන් යන නමිනි. මෙම පද බොහෝ ඒවා දිගින් වැඩි වන අතර එමප ද සංකීර්ණ මෙන්ම ගැඹුරු අක්ෂරයන්ගෙන් යුතුව නිර්මාණය කර ඇත. 
උදා - ධාකිටිතක
ධුමකිටිතක
ධෙද් ධෙන්තා
පරන්, සාදා පරන්, චක්‍රධාර් පරන් ආදී වශයෙවන් විවිධ වේ.

තත්කාර්
කථක් නර්තන ප්‍රසංගයක අවසාන අංගය ලෙස තත්කාර් ඉදිරිපත් කරයි. මෙම අංගය මගින් ගුංගරු වල චමත්කාරය සහ ලය පදනම් කර ගනිමින් ඉදිරිපත් කරනු ලබන විවිධ විශේෂ දක්ෂතා ප්‍රදර්ශනය කිරීම මෙහි දී සිදු වේ. තබ්ලා වාදකයා තම ලය ලෙහෙරාවට අනුව පවත්වාගෙන යන අතර නර්තකයා සිය ශක්තිය විවිධ ලයාකාර මත ඉදිරිපත් කරනු ලැබේ.

කථක් නර්තනයේ ප්‍රවර්ධනයට දායක වූ ශිල්පීහු



නවාබ් වලිජ් අලීසා
1822 දී උපත ලැබූ මෙතුමා අවාද් රටේ 5 වැනි රජු ලෙස කටයුතු කළේය. නර්තනය, නාට්‍ය, සංගීතය හා කථා ප්‍රබන්ධයට ද මෙතුමා දක්ෂතා දක්වා ඇත. මුල් කාලයේ ආගමික සිද්ධස්ථාන වලට පමණක් සීමා වූ කථක් නර්තනය රාජ සභා නර්තනයක් බවට පත් කිරීමට මෙතුමා කටයුතු කරතු කර තිබේ. තවද කථක් නර්තනය සම්බන්ධව ග්‍රන්ථ රචනය ද මෙතුමා අතින් සිදු විය. මෙතුමන්ගේ යුගය කථක් නර්තන සම්ප්‍රදායේ ස්වර්ණමය යුගය ලෙස ද හඳුන්වයි.




අච්චන් මහාරාජ්
පාද චලන මෙන්ම භාව ප්‍රකාශනය හා නෘත්ත ලක්ෂණ මැනවින් දැක්වීමට හැකි දක්ෂ නර්තන ශිල්පියෙකි. රාජ සභාවන්හි නර්තන රඟ දක්වා ප්‍රශංසා ලබා ඇත. මෙතුමා ලක්නව් ගුරු කුලයට අයත් වේ.




බිර්ජු මහාරාජ්

අච්චන් මහාරාජ්ගේ සාම්ප්‍රදායික කලා ශිල්ප පවත්වාගෙන යාම සඳහා පුරෝගාමීව කටයුතු කලේ බිර්ජු මහාරාජ්ය. සංගීත් භාත්ඛණ්ඩ ආයතනයේ හා කථක් කේන්ද්‍රයේ ගුරුවරයෙක් ලෙස මෙතුමා සේවර කර ඇති අතර කථක් නර්තනඅංග රාශියක් නිර්මාණය කිරීමද සිදු කර ඇත. නෘත හා නෘත්‍ය ගණයේ නර්තන දැක්වීමට පරිපූර්ණ කුසලතා හිමිකරගත් මොහු සංගීත නිර්මාණය, සිනමා සඳහා අංග රචනය ආදිය ද සිදු කොට ඇත. එමෙන්ම රාජ සම්මානද හිමි කර ගෙන ඇත.

ආශ්‍රිත ග්‍රන්ථ
  1. භාරතීය සම්භාව්‍ය නර්තන කලාව - මහාචාර්ය ජයසේන කෝට්ටගොඩ - 2001
  2. 9 ශ්‍රේණිය නර්තනය අතිරේක කියවීම් පොත 
සටහන - දිනේෂ් ජයසිංහ





Post a Comment

Previous Post Next Post