ශ්‍රි ලාංකේය ජන සාහිත්‍යයේ ස්වර්ණ කිරුල ජන
කවියයි. අතීත සමාජයේ ජීවත් වූ ලාංකේය ජනයා තම උපතේ සිට මරණය දක්වාම ජීවිතයේ සෑම
අවස්ථාවක දීම පාහේ ජන කවිය හා සමීපව ජීවිතය ගත කර තිබේ. ලාංකේය ජන සාහිත්‍ය
පිළිබදව හැදෑරීමේදී මෙම කියමන සනාථ කිරීමට අවැසි තරමේ නිදසුන් බොහෝමයක් වෙති. මව්
කුසේ වැඩෙන කළලය මෙන්ම ගැබ මෝරා උපත ලැබූ පසු ඇසෙන දරු නැළවිල්ලේ සිට මරණයකදී ඇසෙන
වෙස්සන්තර ජාතක කවි දක්වා එදිනෙදා ජන ජීවීතය හා ජන කවිය අතර ඇත්තේ අවියෝජනීය
සම්බන්ධතාවයකි.
බුද්ධඝෝෂ
හිමියන් පාලි අටුවාවක දී දක්වා ඇති ආකාරයට ගැමි කාන්තාවක් ගායනා කළ කවක් අසා
භික්ෂුන් වහන්සේලා 60000 ක් රහත් බවට පත්ව ඇත. ජන කවිය දිගු ඉතිහාසයකට උරුමකම්
කියන්නක් බව මේතුළින් පැහැදිලි කර ගත හැකි ය. 1935 දී ප්‍රකාශිත සිංහල ජන සම්මත
කාව්‍ය නම් කෘතිය තුළ අති විශාල කවි ප්‍රමාණයක් ලේඛන ගත කර ඇති අතර එය අධ්‍යනය
කිරීමෙන් ජන කවියේ ඇති විවිධත්වය මෙන්ම විචිත්‍රත්වය පිළිබදව අපට මනා අවබෝධයක් ලබා
ගත හැකි වේ.
ජනයා
අතරම හැදී වැඩී ඔවුන් අතරේම පැවති නිර්මාණ විශේෂයක් ලෙස ජන ගායනා හැදින්විය හැකි
වේ. ජන ගායනා තුළ ගැබ්ව ඇත්තේ සමාජයේ පවතින එදිනෙදා ජීවිතය හා සම්බන්ධ සිරිත්
විරිත්, ඇදහිලි විශ්වාස, ඇවතුම් පැවතුම් ආදියයි. ජීවිතය සමග දැඩි ලෙසම ජන කවිය
බද්ධ වී තිබීමම ලේඛන ගත නොවුනත් මුඛ පරම්පරාගතව බොහෝ කාලයක් ජන කවිය පැවත ඒමට හේතු
වන්නට ඇත. පරපුරෙන් පරපුරට උරුමව ජන කවිය ආ ගමනේ දී ඒවායේ විවිධ වෙනස්කම් සිදුව තිබේ.
භාෂාවෙහි කලින් කලට සිදු වූ වෙනස්කම් විශේෂයෙන්ම මෙයට හේතුවන්නට ඇත.
ස්වකීය
ජීවිතයේ දී ලබන්නා වූ විවිධ අත්දැකීම් ඉතා රසවත් ලෙස ප්‍රකාශ කිරීමට ගැමි ජනයා
දැක්වූ සුවිශේෂි දක්ෂතාවය ජන කවිය තුළින් පැහැදිලි කර ගත හැකිය. පැල් කවි, පාරු
කවි, කරත්ත කවි, පතල් කවි, නැළවිලි කවි, ඔංචිලි වාරම්,නෙළුම් කවි,තේරවිලි කවි ආදි
ලෙස ජන කවි වර්ග රාශියක් ඒ ඒ අවස්ථාවන්හිදි තමන් ලද අත්දැකිම් ඇසුරු කර ගනිමින් ජන
කවියා විසින් නිර්මාණය කොට ගෙන තිබේ.
ජන ගායනා හා බැදි සුවිශේෂි ලක්ෂණ.
- කතෘවරයෙක් නොමැති වීම.
- භාෂාව, පද මාලාව සරල වීම.
- තාල රූපය ගායනයට සුදුසු වීම.
- අරුත් වටහා ගැනීමට පහසු වීම.
- ගැමියන් තුළ ඇති ඇදහිලි, විශ්වාස, සාරධර්ම, ජීවන වෘත්තීන් ආදිය නිරූපණය වීම.
‘‘ අපේ ජන කවි සාමුහික ජීවන රටාවේ වැදගත්ම දායාදයක් වැන්න. තනිවම කියන ජන කවියක් අපට නැත. දරු නැළවිල්ල පවා කියන්නේ ඉතා අඩු වශයෙන් දෙදෙනෙකුවත් ඉන්නා තැනය. පැල් කවිය වුවත් පැලේ ඉඳ කියන විට රාත්‍රි පාළුව හා නිසංසලකම මකා ගෙන පැල් රකිනා අවශේෂ උදවියගේ දෙසවන පතිත වන්නේය. ඒ අයගෙන් කෙනෙක් නිසැකව ම තවත් පැල් කවියකින් ඊට උත්තර සපයන්නේ ය. ඔරු පාරු කවි ගැන කිවයුත්තේ ද ඒ ටික ම ය. සාමුහික රටාවෙන් විනිර්මුක්ත වූ ජන කවියක් සිංහලයා අතර නොවී ය.“
නන්දසේන රත්නපාල, ජනශ්‍රැති විද්‍යාව.


Post a Comment