'' ගුරු ගෘහීය නර්තන අධ්‍යාපන ක‍්‍රමය කාලානුරූපව බිඳ වැටීමත් සමඟ නර්තන අධ්‍යාපනයේ විශාල වෙනස්කම් රැසක් ඇති විය. විශේෂයෙන් ම අවිධිමත් අධ්‍යාපන ලක්ෂණ පෙන්නුම් කරමින් පැවත ආ, විවිධ වෙනස්කම් සහිතව පුළුල් පරාසයක විසිරි පැවති දේශීය නර්තනයේ සුවිසල් දැනුම් සම්භාරය ප‍්‍රමිතිගත විධිමත් විෂය මාලාවන් සහිතව අධ්‍යාපන පද්ධතියට එක් වීම ක‍්‍රමයෙන් සිදු විය. එය අධ්‍යාපනික වශයෙන් ඇති වූ සාධනීය තත්වයකි. ''
නර්තන පරම්පරාවන් සතුව පැවති නර්තන දැනුම බොහෝ සෙයින් එක් තැනකට ගොනු වීම, කාන්තාවන්ට නර්තනයේ අවස්ථා හිමි වීම, ප‍්‍රාසංගික කලාවක් වශයෙන් දේශීය නර්තනය වර්ධනය වීම වැනි කාරණාවන් කෙරෙහි මූලික අඩිතාලම දේශීය නර්තන සම්ප‍්‍රදායයන් අධ්‍යාපන පද්ධතිය සමඟ එක් වීම තුළ සිදු විය.
අධ්‍යාපනික වශයෙන් දේශීය නර්තනයේ සිදු වූ පරිණාමය අධ්‍යයනය තුළින් එහි සුවිශේෂී අවස්ථාවන් රාශියක් හඳුනා ගත හැකිය.
1913 ‐ 1938 කාල වකවානුවේ කරන ලද අධ්‍යාපනිත ප‍්‍රතිසංස්කරණ වලින් ආරම්භ කරන ලද හන්දෙස්ස ග‍්‍රාමීය අධ්‍යාපන ක‍්‍රමයේ දී පාසල් විෂය මාලාවට විවිධත්වයක් එක් කිරීම සඳහා ප‍්‍රායෝගික විෂයයන් කිහිපයක් ඇතුළත් කරන ලදි.
- සෞඛ්‍ය
- පරිසරය පිළිබඳ අධ්‍යයනය
- වෘත්තිය පුහුණුව
- රසික අධ්‍යයනය (චිත‍්‍ර,නැටුම්,සංගීත)
යන විෂයයන් එලෙස පාසල් පද්ධතියට එකතු කළේය. නර්තනය විෂයක් වශයෙන් පාසල් පද්ධතියට එක් වීමේ මූලික අඩිතාලම මෙම අධ්‍යාපන සංස්කරණයන් ය. පසු කාලීනව විවිධ විෂය මාලා, විභාග ක‍්‍රම, අධ්‍යයන ක‍්‍රම සහිතව දියුණු තත්වයට පත් වූයේ මෙම අරම්භයයි. රසික අධ්‍යයනය නම් විෂයේ එක් කොටසක් ලෙස පාසල් පද්ධතියට එක් වූ නර්තන විෂය අධ්‍යතනයේ පවතින වර්ධනීය තත්වයට පත් වීමට පසු කළ පියවර බොහෝ වෙති.
1933 වර්ෂයේ ඊ. ඒ දෙල්ගොඩ මහතා විසින් කහවත්ත ප‍්‍රදේශයේ සබරගමු නැටුම් ඉගැන්වීම සඳහා පාසලක් විවෘත කිරීම සුවිශේෂී සිදුවීමකි. නර්තන අධ්‍යාපනය පුළුල් වීමට ලැබුණු තවත් අනගි උත්තේජනයක් ලෙස කි‍්‍ර:ව 1934 දී ලංකාවට පැමිණි භාරතීය මහා කලාකරු රවින්ද්‍රනාත් තාගෝර්තුමා විසින් නර්තනය ඉගැන්වීම සඳහා හොරණ කපුකුලවත්තේ ශි‍්‍ර පාලි විද්‍යාලයේ ප‍්‍රධාන ගොඩනැගිල්ලට මුල්ගල තැබීම දැක්විය හැකිය. ශි‍්‍ර ලාංකික ලලිත කලා අධ්‍යාපන ඉතිහාසයේ අතිවිශිෂ්ඨ සංසිද්ධිය ආරම්භ වූයේ 1935 අගෝස්තුවේ දී මරදානේ ආනන්ද විද්‍යාලය දේශීය නර්තනය කෙරෙහි දැක් වූ ආකල්ප නිසාය. එනම් ආනන්ද බාලිකා විද්‍යාලයේ දී විනිෆි‍්‍රඞ් සිල්වා මෙනවියගේ මූලිකක්වයෙන් යුතුව දේශීය නර්තනය ඇසුරෙන් නිර්මාණ ඉදිරිපත් කිරීම සිදු විය. එය දේශීය නර්තනයට අධ්‍යාපනික වශයෙන් විශාල වටිනාකමක් ලැබුණු සුවිශේෂි අවස්ථාවකි.
මෙවැනි සංසිද්ධීන් නිසා ලාංකේය සමාජයේ දේශීය නර්තන සම්ප‍්‍රදායයන් පිළිබඳව තිබූ ආකල්ප වෙනස් කිරීමය සමත් විය. බි‍්‍රතාන්‍ය පාලකයින් විසින් පාරම්පරික නර්තන සහ භේරි වාදන ශිල්පීන් සතුව පැවති ඉපැරණි කලා ශිල්ප අගේකොට සැලකීම හේතු කොට ගෙන, එකී යුගයේ ලංකාවේ ස්ථාපිත වූ ඉංගි‍්‍රසි උගත් ලාංකේය නව සමාජය ද දේශිය නර්තන කලාව පිළිබඳ දැක්වූ ආකල්ප අනුක‍්‍රමයෙන් වෙනස් කර ගැනීමට හේතු විය. අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ නර්තන විෂය පිළිබඳව තිබූ අවධානය වර්ධනය විය.
1936 දී ලංකා ගාන්ධර්ව සභාව නමින් ස්වභාෂා මණ්ඩලයක් පිහිටුවා ආරම්භ කළ ගාන්ධර්ව විභාගය එවකට ලංකාවේ නර්තන විෂය වෙනුවෙන් පවත්වනු ලැබූ ප‍්‍රථම හා එකම විභාග ක‍්‍රමය විය. ලංකා ගාන්ධර්ව සභාව පිහිටුවීමේ පරමාර්ථ අනුව ඒ තුළින් ලාංකේය නර්තන අධ්‍යාපනයට ලැබුණු පිටුවහල ඉතාමත් හොඳින් අවබෝධ කර ගත හැකි වනු ඇත.
මේ ආකාරයට නර්තන අධ්‍යාපනය සඳහා විවිධ උත්තේජනයන් ක‍්‍රමයෙන් ඇති විය. පාසල් වල නර්තන විෂය ප‍්‍රථමයෙන් ආරම්භ කරන ලද්දේ 1934 දී ය. එහි දී නර්තනය ඉගැන්වීම සඳහා කලායතන ගුරුවරුන් යොදා ගත් අතර 1936 දී සංගීත නැටුම් විශේෂ ගුරුවරු ඒ සඳහා පත් කිරීමට යොජනා කර ඇත.
1945 දී අධ්‍යාපන දෙපාර්තමේන්තුව ම`ගින් නර්තන විෂය සඳහා පරික්ෂක වරයෙක් ලෙස පත් කරනු ලැබූ එස්. එල්. බී කපුකොටුව මහතාගේ කැපවීම නර්තන අධ්‍යාපනයේ ප‍්‍රගමනයට සුවිශේෂි දායකත්වයක් දැක්විය.
1948 නිදහස ලැබීමෙන් පසුව යටත් විජිතකරණයට ලක්ව තිබූ සමාජ, ආර්ථික, සංස්කෘතික ආදී වූ සෑම අංශයක් වෙතම එම නිදහස දැනෙන්නට විය. ඒ අනුව ඉන් පසුව ඇති කරනු ලැබූ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ තුළින් නිදහසට පෙර තිබූ තත්වයට වඩා ප‍්‍රමුඛ අවස්ථාවන් නර්තන විෂය සම්බන්ධව ඇති විය. එතෙක් පාසල් විෂය මාලාවේ විශේෂ තැනක් හිමි කරගෙන තිබූ බටහිර සංගීතය හා නැටුම් වෙනුවට පෙරදිග සංගීතය හා උඩරට නැටුම් පාසල් විෂය මාලාවට ඇතුළත් කෙරිණි. පාසල් පද්ධතියට නර්තනය අධ්‍යාපනික විෂයක් වශයෙන් ඇතුළත් වූවා මෙන්ම නිදහස් අධ්‍යාපන ක‍්‍රමය ද නර්තන විෂයේ පැවැත්මට මහෝපකාරි විය.
1952 ජූලි 01 වැනි දා එවකට මුදල් අමාත්‍යය ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් හොර්ටන් පෙදෙසේ ජාතික කලායතන භූමියේ දී ම නැටුම් හා නාට්‍ය පාඨමාලා උත්සව ශී‍්‍රයෙන් ආරම්භ කරන ලදි. මෙම ආරම්භය ක‍්‍රමිකව විශ්වවිද්‍යාලයක් දක්වා වර්ධනය වූයේ එකල සිටි නර්තන ශිල්පීන්ගේ ඉමහත් කැපවීම මත බව නර්තන ඉතිහාසය සාක්ෂ්‍ය දරනු ඇත. ඒ අනුව රජයේ ලලිත කලායතනය 1953 ජූලි 07 අංශ තුනක් යටතේ ආරම්භ විය. පසුව 1953 ඔක්තොම්බර් 01 සංගීත හා නැටුම් විද්‍යාලය ඇල්බට් චන්ද්‍රවංකයට ගෙන එනු ලැබිණි. මෙකළ රජයේ ලලිත කලායතනයට සිසු සිසුවියන් සහභාගි කරවා ගැනීම ආරම්භක සමයේ දී දුෂ්කර වී ඇත. මෙයට හොඳම නිදසුන වන්නේ එවකට මීරිගම රජයේ පාසලේ සිසු සිසුවියන් පිරිසක් පෙරවරුවේ පාසල් අධ්‍යාපනය ලබා අනතුරුව පස්වරුවේ කොළඹ කලායතනයට පැමිණ නැටුම් ඉගෙන ගැනීමේ පුවතයි. කෙසේ නමුත් මෙම ආයතනය 1960 රජයේ නැටුම් හා මුද්‍රා නාට්‍ය විද්‍යාලය නමින් ද, 1974 මැයි 01 දින ලංකා විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනය නමින් ද ඉන් පසු 1980 ජනවාරි 01 දින කැළණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්යය අධ්‍යාපන ආයතනය නමින්ද ප‍්‍රතිසංවිධානය විය. ආරම්භයේ දී උඩරට නැටුම පමණක් ඉගැන් වූ මෙම ආයතනය1960 දශකයේ දී පහතරට නැටුම් ඉගැන්වීම ද, 1970 දශකයේ දී සබරගමු නැටුම් ඉගැන්වීම ආරම්භ කිරීම ද විෂය ක්ෂේත‍්‍රයේ වැදගත් සිද්ධියක් ලෙස දැක්විය හැකිය. 2005 වසරේ දී මෙය සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලය නමින් ස්වාධීන විශ්වවිද්‍යාලයක් බවට පත් විය. වත්මනේ දී ලාංකේය නර්තන අධ්‍යාපනයේ ප‍්‍රමුඛත ආයතනය වන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයයි.
1972 දී රජයේ පාසල් වලට සෞන්දර්ය අධ්‍යාපනය අනිවාර්යය කිරීම හා නර්තන ගුරුවරුන් පුහුණු කිරීම සඳහා ගිරාගම සෞන්දර්ය ගුරු විද්‍යාලය ආරම්භ කිරීම නර්තන අධ්‍යාපනයට සුවිශේෂි අවස්ථාවකි. මේ සමඟ වඩා විධිමත් අයුරින් පාසල් පද්ධතිය තුළ නර්තන අධ්‍යාපනය සිදු වීම මෙන්ම නර්තන විෂය පිළිබඳ වැඩි අවධානයක් යොමු වීම සිදු විය. එහි තවත් දිගුවක් ලෙස 1978 දී උසස් පෙළ විෂය මාලාව සඳහා ද නර්තනය එක් කරනු ලැබිණි. 1986 දී ජාතික අධ්‍යාපන ආයතනය යටතේ සෞන්දර්යය දෙපාර්තමේන්තුව පිහිටුවා විෂය නිර්දේශ, ගුරු මාර්ගෝපදේශ ආදිය සකස් කිරීම තුළ විවිධ නර්තන පරම්පරාවන් යටතේ පැවත ආ නර්තන අධ්‍යාපනය වඩා පොදු පිළිගැනිම් නිර්නායක යටතේ සකස් වී නර්තන අධ්‍යාපනය යම් දුරකට ඒක මිතියකට පත් විය.
පාසල් පද්ධතිය තුළ නර්තනය විෂයක් ලෙස ඉගැන්වීම නිසා සිදු වූ වැදගත් කාර්යයක් ලෙස ගුරු ගෘහීය අධ්‍යාපන ක‍්‍රමය තුළ දී ප‍්‍රායෝගික පක්ෂයට පමණක් සීමා වී තිබුණු නර්තන අධ්‍යාපනය වෙනුවට ඉගැන්වීම් ක‍්‍රමවේද වෙනසකට භාජනය වීමයි. එතෙක් පැවතුණ ප‍්‍රායෝගික විෂයක ඉගැන්වීම් ක‍්‍රමය වෙනස් කරමින් න්‍යායාත්මක කරුණුද ඊට ඇතුළත් විය. මෙම තත්වය පසුකාලීනව නර්තන විෂයට අදාල ප‍්‍රාමාණික උගතුන් බිහි වීම හා නව සංකල්ප බිහි වීමට බොහෝ සෙයින් හේතුකාරක වන්නට ඇතැයි සිතිය හැකි වේ.
ගුරු ගෘහීය අධ්‍යාපන ක‍්‍රමය යටතේ සීමිත පිරිසකට පමණක් හිමි වූ නර්තන අධ්‍යාපනය පාසල් අධ්‍යාපන පද්ධතියට එක් වීම සුවිශේෂි සංසිද්ධියකි. වත්මන වන විට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය, කැළණිය විශ්වවිද්‍යාලය, හොරණ ශි‍්‍ර පාලි මණ්ඩපය, ශි‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආදී විශ්වවිද්‍යාල ප‍්‍රමුඛ වෙමින් උපාධි, පශ්චාත් උපාධි මට්ටට දක්වා නර්තන විෂයෙන් උසස් අධ්‍යාපන අවස්ථා බිහි කර ඇත. තවද වත්මන වන විට නර්තන අධ්‍යාපන ඉතා පු`ඵල් පරාසරයක විහිද යමින් පර්යේෂණ, සංවාද, නව නර්තන විධි, න්‍යායන් ආදිය පිළිබඳ අවධානය යොමු වෙමින් අධ්‍යයනයන් සිදු කරමින් පවතියි.
සටහන දිනේෂ් ජයසිංහ
මූලාශ‍්‍ර
ආශි‍්‍රත ග‍්‍රන්ථ හා ලිපි
නර්තනය හා ශි‍්‍ර ලාංකේය ගුරු කුල සම්ප‍්‍රදාය, වෛද්‍යවතී රාජපක්ෂ, ලලිත කලා සාර සංග‍්‍රය - 3.
ශි‍්‍ර ලංකාවේ නර්තන විෂය ක්ෂේත‍්‍රය හා සම්බන්ධ පාසල් විභාග ක‍්‍රම එහි අභිවෘද්ධියට හේතුවක් වීද ?, ධම්මිකා ලංකාතිලක, ලලිත කලා සාර සංග‍්‍රහය - 3.
පැරණි ශි‍්‍ර ලංකාවේ නර්තන ගුරු කුලයේ හි පැවති අධ්‍යාපනික සංස්කෘතික කි‍්‍රයාවලි වෙනස් වීටම බලපෑ සමාජ පසුබිම, වෛද්‍යවතී රාජපක්ෂ, නර්තන චින්තා.
ශි‍්‍ර ලාංකික නර්තනයේ විකාශනය, තිස්ස කාරියවසම්.
රංගන පළමුවැනි කාණ්ඩය, තැන්වැනි කලාපය, සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ ශාස්තී‍්‍රය සංග‍්‍රහය
රුහුණු නැටුම් සිද්ධාන්ත, කාලිංග ඔබේවංශ
ශී‍්‍ර ලංකාවේ පාසල් ක‍්‍රමයෙන් බාහිර අධ්‍යාපනය.
(අධ්‍යාපන කටයුතු සඳහා අවැසි ලෙස උපුටා ගන්න, මෙම ලිපිය වෙනත් තැනක පල කරන්නේ නම් කතෘ අයිතිය ලබා දීමට කාරුණික වන්න)

Post a Comment