වන්නම්වල පසුබිම හා විකාශය.





නිපුණතාව - 5. ශ්‍රී  ලාංකේය නර්තන සම්ප‍්‍රදායය හා බැඳි ඵෙතිහාසික හා සංස්කෘතික පසුබිම විස්තර කරයි.

නිපුණතා මට්ටම - 5.1 වන්නම්වල පසුබිම හා විකාශය.


වන්නම්වල පසුබිම

    ශ්‍රී  ලාංකේය සාම්ප‍්‍රදායික නර්තන සම්ප‍්‍රදායන්හි අන්තර්ගත ශාස්ත්‍රීය  නර්තන අංගයක් ලෙස වන්නම් හැඳින්විය හැකිය. නර්තන සම්ප‍්‍රදායන් ත්‍රිත්වයටම අයත් නර්තන අංගයක් ලෙස වන්නම් හඳුනාගත හැකිය. එහෙත් මෙහිදී දක්නට ලැබෙන තවත් සුවිශේෂි කරුණක් ලෙස වන්නම් යනු සම්ප‍්‍රදායත‍්‍රයේම ශාන්තිකර්ම වලින් බැහැරව නිර්මාණය වී ගොඩ නැගුණු ශාස්ත්‍රීය නර්තන අංගයක් වීමයි. 

    මෙම විශිෂ්ට කලාංගය හැඳින්වීම සඳහා භාවිතා කරන වන්නම් යන වචනය ද්‍රවිඩ භාෂාවෙන් සිංහල භාෂාවට එකතු වූ වචනයක් බව විද්වත් මතයයි. ද්‍රවිඩ භාෂාවෙහි එන වර්ණම් (වර්ණනා කිරීම) යන්නෙන් වන්නම් යන වචනය සැදී ඇත. වර්ණම් යන වචනය ද්‍රවිඩ භාෂාව තුළ ක්‍රි;ව  100 ක් පමණ පැරණි වචනයක් වන අතර මෙය සිංහල භාෂාවට එකතු වී ඇත්තේ 18 වන සියවසේ දීය.

    වන්නම් පිළිබඳව අධ්‍යනයේ දී ඒවා කිසියම් ජීව හෝ අජීව වස්තුවක්, සත්ත්ව චරිත, දේව චරිත, විවිධ සිදුවීම් ආදිය මුල් කර ගෙන රචනා වී ඇත, එහෙත් මෙම තත්වය දක්නට ලැබෙන්නේ උඩරට හා සබරගමු වන්නම් තුළ පමණි. පහතරට වන්නම් වලදී මෙම තත්වය දක්නට නොමැත. ඒ වෙනුවට පහතරට වන්නම් වල දැකිය හැකි වන්නේ දේව භක්තිය දැනවෙන රචනා ක‍්‍රම විධියකි.

    විවිධ වෙනස්කම් සහිතව වුවද සම්ප‍්‍රදායයන් ති‍්‍රත්වයෙහිම වන්නම් සම්බන්ධව සැලකු විටදී සියල්ලෙහිම දැකිය හැකි පොදු ලක්ෂණ කිහිපයක් ද පවති.

            1. ගායනය අරමුණු කරගනිමින් රචනා වීම.
            2. තාල රූපයකට අනුව රචනා කර තිබීම.
            3. නර්තනයේදී අදහස් ප‍්‍රකාශ කිරීමක් සිදු නොකිරීම.
            4. පසුකාලින වන්නම් නර්තනය සඳහා යොදා ගැනීම.


උඩරට වන්නම්


    වන්නම් යන වදන ඇසූ සැනින්ම බොහෝ අයෙකුට මතකට නැගෙන්නේ උඩරට වන්නම්ය. එ තරම් උඩරට වන්නම් සමාජය තුළ පැතිරි තිබීම එයට හේතුවයි. උඩරට වන්නම් ගණනින් 18 කි.

    උඩරට වන්නම් මහනුවර රාජධානි සමයේ දී ශ්‍රී  වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් ආරම්භ කරනු ලැබූ කවිකාර මඩුවේ දී රචනා වූ බව කියවේ. ඒ අනුව රාජකීයයන්ගේ හා වෙනත් ප‍්‍රභූන්ගේ විනෝදාස්වාදය පිණිස මෙම වන්නම් රචනා කොට ඇත. 

උඩරටවන්නම් රචනා වීම පිළිබඳ විවිධ මත

1. රම්මොලවක අධිකාරම්තුමන් විසින් වන්නම් ප‍්‍රබන්ධ කොට ඇති බවත් ඒ සඳහා මහ රජතුමාගෙන් ගම්වර (නින්දගම්) පවා ලබා ගත් බව.

2. දකුණු ඉන්දියාවේ නාගපට්ටනම් ස්ථානයෙන් ගෙන්වා ගත් ‘‘ගණිතාලංකාර’’ බමුණු පඬිවරයා  විසින් වන්නම් රචනා කල බව.

3. ගණිතාලංකාර නම් බමුණු පඬිවරයා ට පඬුරු පාක්කුඩම් යවා ලංකාවට ගෙන්වාගත් බවත් ඔහු විසින් රචිත නෙර්තමාලය නමැති කෘතිය ඇසුරු කොට ගෙන මල්වතු විහාරවාසී හිමි නමක් විසින් වන්නම් රචනා කළ බවත් කිරි ඇල්ලේ ඥාණවිමල හිමි පවසයි.

    මේ ආකාරයට වන්නම් රචනා වීම පිළිබඳව තවමත් විවිධ මතවාද ඉදිරිපත් වෙමින් පවතී. කෙසේ නමුත් උඩරට වන්නම් මහනුවර කවිකාර මඩුවේ ඉදිරිපත් කොට ඇත්තේ ගායන අංගයක් ලෙසිනි. පසුකාලීනව එම ගායනාවන් වලට නර්තනය එකතු වෙමින් වන්නම් නර්තනය ආරම්භ වී ඇත.

 
පහතරට සින්දු වන්නම්


    පහතරට නර්තන සම්ප‍්‍රදායේ දී වන්නම් සින්දු වන්නම් යන විශේෂිත පදයකින් හඳුන්වනු ලබයි. සින්දු වන්නම් ගණනින් 32 ක් වන අතර පහතරට නර්තන සම්ප‍්‍රදායෙහි පවතින උප නර්තන සම්ප‍්‍රදායයන් (බෙන්තර,මාතර,රයිගම) හි දී මෙම වන්නම් වල සුළු වෙනස්කම් දක්නට ඇත.

    සින්දු වන්නම් වල උපත පිළිබඳව විවිධ මතවාද දක්නට ලැබේ එම සියළු  උපත් කතාවන් සඳහා දෙව්නුවර උපුල්වන් දෙවියන් සම්බන්ධව මතවාද ගොඩනැගී තිබේ.

    ජනප‍්‍රවාදයට අනුව අන්ධ බ‍්‍රාහ්මණයෙකු විසින් තමන්ට පෙනීම ලබා දෙන ලෙස ඉල්ලා විෂ්ණු නොහොත් උපුල්වන් දෙවියන්ට පූජෝපහාර පිණිස සින්දු වන්නම් රචනා කළ බවට මතයක් ඇති බව සී. ද. එස් කුලතිලක මහතා සිය දහඅට වන්නම් නැමැති කෘතියේ දී සඳහන් කොට ඇත.

    තවද නෙත් අඳ පුද්ගලයෙකු තමන්ට පෙනුම ලබා දෙන ලෙස ඉල්ලා කවි පන්තියක් රචනා කර දෙන ලෙසට බරණ ගණිතයා නමැති කාව්‍ය රචකයාගෙන් ඉල්ලීමක් කරන ලද බවත් ඒ අනුව බරණ ගණිතයා විසින් සින්දු වන්නම් රචනා කරන ලද බවත් කියවේ. එසේම එම කවි උපුල්වන් දෙවියන් ඉදිරියේ ගායනා කිරීමෙන් නෙත්වල පෙනීම හිමි වී ඇති බවද කියවේ. 

    සින්දු වන්නම් වල භාෂාමය ලක්ෂණ හා රචනා ශෛලිය, ආකෘතිය හා කාව්‍යමය ගුණ පිළිබඳව සලකා බැලීමේ දී දඹදෙණි හා කෝට්ටේ යුගයන් අතර කාලයේ දී සින්දු වන්නම් රචනා කර ඇති බව නිගමනය කෙරේ.
සින්දු වන්නම්, උඩරට හා සබරගමු වන්නම් සමඟ  සැසදීමේ දී සුවිශේෂි වෙනස්කම් කිහිපයක් දක්නට ලැබේ. විශේෂම ලක්ෂණය නම් සින්දු වන්නම් 32 ම දම්වැලක පුරුක් මෙන් එකිනෙකට සම්බන්ධ වී තිබීමයි. එනම් එක් වන්නමක් අවසන් වන පදයෙන් හෝ අක්ෂරයෙන් අනෙක් වන්නම් ආරම්භ වී තිබේ. 

    තවද සෑම සින්දු වන්නමක් සඳහාම නියමිත වූ තාලයක් හා වෘත්තයක් ඇති අතර එයින් සින්දු වන්නම හඳුන්වා ඇත. 

    මුල් කාලයේ දී ගායනය සඳහා නිර්මාණය වූ සින්දු වන්නම් පසු කාලිනව සින්දු වන්නම් වලට ගැලපෙන පරිදි බෙර පදය තානම හා ඉරට්ටිය ආදිය යොදා ගනිමින් නර්තනය කිරීම සිදු වී ඇත. ශාන්තිකර්ම වලින් පරිභාහිරව බිහිවූ ශාස්තී‍්‍රය නර්තන කොටසක් වුවද පසුව ශාන්තිකර්ම භූමි වලදී ශීල්පීය හැකියාව පෙන්නුම් කරන අංගයක් ලෙස ද සින්දු වන්නම් ඉදිරිපත් කිරීම සිදු වී ඇත.

උදා- ශුද්ධ තාලය - ගංගා වෘත්තය
සිරි පිරි ගිරි මුදුනත සුර පුර ලෙසිනා
සිරිලක පිරි පවර දෙවි නුවරෙහි          වෙසෙසවනා
සිරි සඳ වනැති සිරි කත සමගිව               වෙසෙනා
සුරිඳුනි අසන් මකියන බස් බැති                  පෙමිනා

කොණ්ඩනාවිච්චි තාලය - ග‍්‍රහකාර වෘත්තය
පෙමින කුළුණු  මිතුරු ගුණෙන්
ඇඳින මුනිදු සඳසෙ               රූප
දෙමින දසත            දිගැති
තෙදැති යුගැති රිවිසෙ      තාප

සබරගමු වන්නම්

    උඩරට හා පහතරට වන්නම් වලට සාපේක්ෂව සබරගමු වන්නම් පිළිබඳව තොරතුරු අවමය. එහෙත් වරින් වර විවිධ විද්වතුන් හා පර්යේෂකයින් විසින් ඉදිරිපත් කොට ඇති තොරතුරු අනුව සබරගමු වන්නම් ඉතිහාසය පිළිබඳ තොරතුරු ප‍්‍රමාණයක් සොයා ගත හැකිය.

    සබරගමු වන්නම් වල මූලිකම ලක්ෂණය ලෙස පෙන්වා දිය හැක්කේ පූජාර්ථයෙන් බැහැරව විනෝදාස්වාදය මුල් කර ගනිමින් බිහි වී තිබීමයි. එය පැහැදිලිවම පෙන්නුම් කරන අවස්ථාවක් ලෙස සබරගමු වන්නම් වල වාද ගී ස්වරූපයක් දක්නට ලැබීම දැක්විය හැකිය. වාද ගී ගැයීම සිදු කර ඇත්තේ විනෝදාස්වාදය සඳහාය. ප‍්‍රභු නිවෙස් හා වලව් ආශි‍්‍රතව ඔවුන්ගේ විනෝදාස්වාදයට පිණිස සබරගමු වන්නම් ගායනය කර ඇති බවත් පසුකාලීනව ඒවා නර්තනය කර ඇති බවත් කියවේ.

    සබරගමු වන්නම් වලදීද වස්තු බීජ ලෙස භාවිතා කොට ඇත්තේ සත්ත්ව චරිත, ජීව අජීව වස්තූන් හා විවිධ සිදුවීම්ය. මෙය උබරට වන්නම් හා සබරගමු වන්නම් වල සමාන ලක්ෂණ පෙන්නුම් කරනු ලබන අවස්ථාවකි.

    සබරගමු වන්නම් පිළිබඳව තොරතුරු ලබා හැකි මූලාශ‍්‍රයක් ලෙස 1864 කලවානේ ධර්මාලංකාර අතපත්තු මුදලි විසින් ඉදිරිපත් කළ පුස්කොල පොතක් ආශ‍්‍රයෙනව් කරන ලද සංස්කරණය දැක්විය හැකිය. මෙම සංස්කරණය අනුව සබරගමු වන්නම් 36 තිබෙන අතර මෙම වන්නමම් සපරගමු මහා සමන් දේවාලයේ දෙවියන් ඉදිරියේ ඉදිරිපත් කර ඇති බව කියවේ.

    1908 මහවලතැන්න බණ්ඩාර විසින් ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ දේශනයක් සඳහා ඉදිරිපත් කරන ලද දේශනයක් ඇසුරින් සකස් කරන ලද ලිපිය සබරගමු වන්නම් පිලිබඳ තොරතුරු ලබා ගත හැකි තවත් මූලාශ‍්‍රයක් ලෙස දැක්විය හැකිය. එම ලිපියෙහි සබරගමු වන්නම් 29 ක් සඳහන් කොට ඇත. 

    සබරගමු වන්නම් ප‍්‍රමාණය පිළිබඳව විවිධ මතවාද පැවතියද වර්තමානයේ දී භාවිතයේ වන්නම් 21 පවතී. 

සටහන - දිනේෂ් ජයසිංහ

ආශ්‍රිත  මූලාශ‍්‍ර
වන්නම් විනිසI/II දොරමඩලාව වැඩසටහන
නර්තනය අතිරේක කියවීම් පොත 11 ශ්‍රේණිය
සිංහල නර්තන කලාව (1993 ප‍්‍රථම මුද්‍රණය) - මුදියන්සේ දිසානායක
රුහුණු නැටුම් සිද්ධාන්ත සමීක්ෂණය (1996 ප‍්‍රථම මුද්‍රණය) - කාලිංග ඔබේවංශ



 

Post a Comment

Previous Post Next Post